Spread the love

දේවින්ද පිණිදිය

අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු විසඳීමේදි ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි ඊට විසඳුම් සෙවීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කළ බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා ආණ්ඩුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවියාත් පාර්ශ්ව තුනක් ලෙස වෙන-වෙනම කටයුතු නොකර, සියලු දෙනා එකම වේදිකාවක එකම අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් සේ කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අර්තාපල් ගොවින් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැති අවස්ථාවේදීය.

අර්තාපල් නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, ඉන් 40%ක් බීජ මිලදී ගැනීමේ වියදම බවත් මෙහිදී ගොවීහු පෙන්වා දුන්හ. වගාවට පොහොර යෙදීමේ අක්‍රමවත් බව, නිසි ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘෂි යෙදවුම් නිසා අස්වැන්න පහත වැටීම, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නොමැති වීම යන ගැටලු ප්‍රධාන වශයෙන් අර්තාපල් නිෂ්පාදන වියදම ඉහළ යාමට හේතු වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

ගොවීන්ට සහනාධාරයක් ලබා දීම කෙරෙහිද අවධානය යොමු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළ අතර, අර්තාපල් නිෂ්පාදන වියදම අඩු කිරිම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර සහ කෘෂි යෙදවුම් සැපයීමටත්, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නිෂ්පාදනයටත් ගොවීන් සමඟ එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඉදිරියේදි වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.

අර්තාපල් ගොවීන් සම්බන්ධයෙන් වන රජයේ මැදිහත්වීම් ක්‍රමවත් කිරිම සඳහා ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත්, ගොවි ගැටලු විසඳීමට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් ලබා දෙමින්,එම ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසිය.

රටේ වාර්ෂික අර්තාපල් පරි‍භෝජනය මෙට්‍රික් ටොන් 225,000ක් පමණ වන අතර, එයින් මෙරට නිෂ්පාදනය කෙරෙනුයේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 70,000ක්- 80,000ක් පමණ වන බවත්, ඒ අනුව, ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමට සිදු වන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීහු සංඛ්‍යා දත්ත හුවා දක්වමින් පෙන්වා දුන්හ.

කෘෂිකර්ම සහ පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ යන මහත්වරු සහ කාෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අර්තාපල් ගොවීන් නියෝජනය කරමින් ගොවීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.