Spread the love

ඉපලෝගම, කුංචිකුලම ප්‍රදේශයේ නිවසක් තුළ නීතිවිරෝධී සූදු ක්‍රීඩාවක් පවත්වාගෙන ගිය බවට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් ඉපලෝගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

04 දින සිදු කරන ලද මෙම වැටලීමේදී, සැකකරුවන් සූදු ක්‍රීඩාව සඳහා යොදාගත් උපකරණ සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. මෙම සූදු ක්‍රීඩාව අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉපලෝගම, කුංචිකුලම, මඩාටුගම, කැකිරාව, එප්පාවල, කටියාව, කරඹෑව, දෙන්නෑව සහ ගල්නෑව ඇතුළු ප්‍රදේශ රැසක පදිංචිකරුවන් බව පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

වැටලීමේදී, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ භාරයේ තිබී හඳුනා නොගත් මස් කිලෝග්‍රෑම් 6ක් පමණ ද සොයාගෙන ඇති අතර, එය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මස් තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.