Spread the love

දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතියි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි.

නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර  දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.