Spread the love

2019 අප්‍රේල් මාසයේ 21 වන දා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට පසුව, තහනම් කරන ලද ඉස්ලාම් සංවිධාන එකොළහකින් සංවිධාන පහක තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

තහනම ඉවත් කිරීම බුද්ධි අංශ නිළධාරීන්ගෙන්ද සමන්විත විද්වත් කමිටුවකින් ගනු ලැබූ තීරණයකි.

කෙසේ වෙතත් තහනම ඉවත් කර තිබෙන්නේ දැඩි කොන්දේසි මත බවද පුවත්පත වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මාසයේ දී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙකී සංවිධාන පහද ඇතුළුව ඉස්ලාම් සංවිධාන එකොළහක ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය තීරණය කළ බව නිවේදනය කළෛ් ය.

ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත්, ලංකා තවුහිද් ජමාත් සහ එක්සත් තවුහිද් ජමාත් යන සංවිධාන පහ මෙසේ තහනම ඉවත් කරන ලද සංවිධානයි.

කෙසේ වෙතත්, තහනම ඉවත් කළ පසුවද, මෙම සංවිධානවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කළ යුතු බව විද්වත් කමිටුව නිර්දේශ කර තිබේ.

විශේෂයෙන්ම ඔවුන්ගේ අරමුදල් මූලාශ්‍ර සහ අධ්‍යාපන වැඩ සටහන් පිළිබදව අවධානයෙන් සිටිය යුතු බව එකී විද්වත් කමිටුවේ අදහසයි.
සිය සාමාජිකත්වය සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බව එකී සංවිධාන ද පොරොන්දු වී තිබේ.