Spread the love

ලබන මහ කන්නයේ දී පැරචුට් තැටි මිල දී ගැනීමට ගොවීන්ට  සියයට 75ක සහනාධාරයක් රජය මගින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි.

වී වගාව සඳහා නව  තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම යටතේ ගොවි ජනතාව අතර  පැරචුට් ක්‍රමය භාවිතය පුළුල් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා කෘෂි උපකරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

පැරචුට් තාක්ෂණය යනු වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි ගොයම් පැළ සිටුවීමේ තාක්ෂණික ක්‍රමයකි.

මේ සඳහා  ගොයම් පැළ සකස් කිරීමට අවශ්‍ය පැරචුට් තැටි මිල දී ගැනීමට ගොවීන්ට අමතර මුදලක් වැය කිරීමට සිදු වන නිසා ගොවීන් මෙම ක්‍රමයට අනුගමනය නොකරන බව පෙනී ගොස් ඇත.

එමනිසා පැරචුට් ක්‍රමයට වී වගා කිරීමට අවශ්‍ය තැටි මිල දී ගැනීමට වැය වන මුළු මුදලින් සියයට 75ක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයින්  පිරිසක් සමග ඊයේ (17) පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමට නම් දැනට වඩා අස්වැන්නක් ඔවුන්ට ලබා ගැනීමට සිදු වේ. දැනට හෙක්ටෙයාර් එකකට අපේ රටේ බොහෝ ප්‍රදේශවල ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.5 සිට 4.5 දක්වා ප්‍රමාණයකි.

නමුත් පසුගිය මහ කන්නයේ දී අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ගොවීන් මෙට්‍රික් ටොන් 10-11 දක්වා ප්‍රමාණයක විශාල අස්වැන්නක්  වාර්තා කර තිබේ.

එම ගොවීන් බහුතරයකට එසේ අන්තර්ජාතික මට්ටමත් ඉක්මවා ගිය විශාල වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුයේ  නව තාක්ෂණික ක්‍රම භාවිතය, නව බීජ වී භාවිතය, නිසි කලට වගා කිරීම, වල් පැළ මර්දනය මෙන්ම රසායනික පොහොර සහ කාබනික පොහොර ද  කෘෂි උපදෙස් මත භාවිතා කිරීම නිසාය..

එමෙන්ම අතිරේක  බෝග වගා කරන ගොවීන් සඳහා සියයට 50ක සහනාධාරයක් ලබා දෙන අතර ඔවුන්ට පොහොර , වතුර මැෂින් සහ  බීජ නොමිලයේ ලබා දීමටත් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.