Spread the love

නිමල් රාජපක්ෂ

ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන්  සමඟඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

පසුගිය වසර කිහිපය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් රට හැර යාම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී  රජයක් ලෙස ගැටලු රැසකට මුහුණ දුන් බව පිළිගත් ජනාධිපතිවරයා රටේ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට බාධාවක් නොවන පරිදි එම ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරන ලදී.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ලෙස මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් අණපනත්වල පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් වසර ගණනක් ප්‍රමාද වී ඇති උසස්වීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් අතර පවතින වැටුප් විෂමතා කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව මෙම ගැටලුවලට කඩිනමින් සාධනීය විසඳුම් ලබා දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් දෙන ලදී. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ. පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක්ද, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති  ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි යන මහත්වරුද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවෝ පිරිසක්ද  මෙම සාකච්ඡාවට සහභාගී වූහ