Spread the love

නිමල් රාජපක්ෂ-
නව තැපැල් කාර්යාල සඳහා මුල්ගල් තබපු මොහොතේ සිටම ගොඩනැගිලිවල ඉදිකිරිම් ආරම්භ වන බවත්, පැලවෙන මුල්ගල් නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසරේ දෙසැම්බර් මස මෙම නව තැපැල් කාර්යාල ගොඩනැගිලඉදිකොට ජනතා අයිතියට පත් කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න තේමා කරගත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසර 200 කට අධික ඉතිහාසයක් සහිත මෙරට ක්‍රියාත්මක තැපැල් සේවා‍ව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට වත්මන් රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 4.23 ක ඇස්තමේන්තු ගත වියදමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය කොලණිය උප තැපැල් කාර්යාල නව ගෙඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (20) පෙරවරුවේ සිදු කෙරිණි.

වසර 60 කට වඩා පැරණි කඩාවැටුන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වෙනුවට මෙම නවීන පහසුකම් සහිත නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිවීමත් සමග ගොවිජනපද වලින් යුත් තම්මැන්නාව, දිවුලගමුව, පල්ලෙමළල, වැලිගත්ත වැනි අවට ගම්මාන රැසක ජනතාවට පහසුවෙන් නවීන සන්නිවේදන තැපැල් සේවාවන් සළසා ගත හැකි වෙි.

තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉහත ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

පසුගිය රජයන් තැපැල් සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු නොකිරීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.

ජනතා බදු මුදල් ජනතා සුඛවිහරණය සඳහාම සැළසුම් සහගතව යොදවන බවත් නව තැපැල් කාර්යාල සඳහා මුල්ගල් තබපු මොහොතේ සිටම ගොඩනැගිලිවල ඉදිකිරිම් ආරම්භ වන බවත්, පැලවෙන මුල්ගල් නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසරේ දෙසැම්බර් මස මෙම නව තැපැල් කාර්යාල ගොඩනැගිලඉදිකොට ජනතා අයිතියට පත් කෙරෙන බවත් මෙම ප්‍රදේශයේ විශාල ජනතාවකට ඉන් සේවා සැලසෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

පවතින තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල නවීකරණය සඳහා ද වත්මන් රජය මුදල් වෙන් කරන බවත්, ලබන අයවැය මගින් ද සැලකිය යුතු මුදලක් තැපැල් සේවාව නඟා සිටුවීම සඳහා වෙන් කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි.