Spread the love

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේ ඊයේ (19) සිදුකල වාහන පරික්ෂාවකදි මධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 115 ක් පරික්ෂාකොට එයින් වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් පියවර ගෙන ඇත.

ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරිමේ අරමුණින් සිදුකළ මෙම පරීක්ෂාවේදී, අධික ලෙස දුම් පිටවන වාහන, අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත් කිරිමට කටයුතු කර තිබේ. .

එමෙන්ම මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කිරීමටත්, මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරුන් උපදෙස් ලබා දී තිබේ.

මෙලෙස තාවකාලිකව ධාවනය තහනම් කළ වාහන අතර, ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක් ඇතුළත්ව ඇත.

ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගෙන ඇති අතර, එම වාහන අලුත්වැඩියා කර මේ මස 30 වනදා වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙන විත්, යළිත් පරීක්ෂාවට ලක් කල යුතුය.

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ ඉල්ලීමක් මත, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශයේ නිලධාරින් සමග එම දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක එම්. එස්. එල්. චන්දන බණ්ඩාර මහතා විසින් මෙහි කටයුතු අධීක්ෂණය කර ඇත.

මෙම අවස්ථාවට ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා ඇතුලු රථවාහන අංශයේ නිලධාරින්ද එක්ව තිබේ.