නිමල් රාජපක්ෂ-
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙළ, ආණමඩුව, නිකවැරටිය හා මහව වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හතරෙහි රුපියල් මිලියන 100 ක්වටිනා වී කිලෝග්‍රෑම් නවලක්ෂ හැත්තෑඑක්දහස් පනහක් අතුරුදන් ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා හතරක සිදූවූ වංචාවක් සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශණ වාර්තාවට අනුවයි.
මෙම සිදුවීම 2021-22 වර්ෂවල දී සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දෙනු ලැබීය.
මෙම වංචාවට චෝදනා ලැබූ නිලධාරින් 05 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි අද (07) දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට මේ සම්බන්ධ වැඩිදුර විමර්ශණ තුනක් සිදූ කරන අතර අභ්‍යන්තර විගණන විමර්ශණයක්, මුලික විමර්ශණයක් හා අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.
මෙම අපරාධයට සම්බන්ධව සිටින්නේ වැඩ තහනමට ලක් කළ නිලධාරින් පමණක්මද යන්න හා තවත් පුද්ගලයින් හෝ පුද්ගල ජාලයක් ඊට සම්බන්ධ ද යන්න සම්බන්ධව අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදූර විමර්ශන කරනු ඇත.
වී අලෙවි මණ්ඩලය සතු වී තොග දිවයිනේ අනෙකුත් ගබඩාවලත් මේ අයුරින්ම වංචා සහගත ලෙස අවභාවිත කර ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (07) සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දුන්නේය.
