අපට තිබු විශාලම ප්‍රශ්නයක් තමයි අප සෑමවිටම මුදල් මුද්‍රණය කිරීම. ඒ වගේම බැංකුවලින් ණය ලබා ගැනීම. එයින් සිදු වුණේ රුපියලේ අගය පහළ යාමයි. රජයේ අවශ්‍යතාවලට බැංකුවලින් ණය අරගෙන රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙන තත්ත්වයට පත්ව තිබුණා. ඒ නිසා බැංකුවලින් ණය ලබා නොගන්න බවට සහ මුදල් මුද්‍රණය නොකරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවිමට අපට සිදු වුණා.
එසේනම් අප රජයේ ආදායම ඉහළ නංවාගත යුතුව තිබෙනවා. අපට මෙම වසරේදී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගැනිමට සිදු වෙනවා. එය අවසන් කිරීමට තිබෙන්නේ 15%ක ඉලක්කයකින්. දළ ජාතික නිෂ්පාදනයෙන් 15%ක ආදායමක් ලබා ගත හැකිනම් අපට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ශක්තියක් තිබෙනවා.
මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නම් සහ බැංකුවලින් ණය ලබාගත නොහැකි නම් අපට තිබෙන එකම මාර්ගය රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමයි. එහිදි වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. ඒ අනුව 15%ක්ව තිබු වැට් බද්ද 18%ක් දක්වා වැඩි කළා. ඒ වගේම වැට් බදුවලින් ඉවත්ව තිබු භාණ්ඩ ගණනාවක් වැට් බදු යටතට පත් කළා. එමඟින් දැන් අපට අවශ්‍ය ආදායම ලැබෙනවා. එම නිසා රුපියල ශක්තිමත් වෙනවා. අසීරුවෙන් වුවත් එම බර දරා ගැනීමට අප සියලුදෙනාට සිදුවී තිබෙනවා. අමාරුවෙන් හරි අපි යා යුත්තේ මෙම මාර්ගයෙයි. එයින් ඉවත්වුණොත් අපට අනාගතයක් නැහැ.
ජනතාවට ලබාදිය හැකි සෑම සහනයක්ම සැලසීමට අප කටයුතු කර තිබෙනවා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දිමනාවක් ලබාදීම, අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීම, ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වැනි සහන ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් සහන ලබාදීමට කටයුතු කරනවා.
මෙම මාර්ගය හැර අපට වෙනත් මාර්ගයක් නැහැ. ඇතැම් අය කියනවා මුදල් මුද්‍රණය කරන්න, බැංකු ණය ලබා ගන්න කියලා. එය සිදු කළහොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන්නේ නැහැ. මේ යන මාර්ගයේ දුෂ්කරතා තිබුණත් වසර අවසානයේ රුපියල ශක්තිමත් වෙනවා. වසරින් වසර එම අගය ඉහළ යනවා.
තමන්ට එම වටිනාකම ලැබෙනවා. නමුත් ඉන් බැහැරව කටයුතු කළහොත් රුපියලේ අගය නැවත පහළ යනවා. සහන දෙනවා කියන්නේ රුපියල අවප්‍රමාණය කිරීම නොවෙයි. එය අපට කරන්න බැහැ.
ඒ නිසා මෙය ජනප්‍රිය වැඩපිළිවෙළක් නොවෙයි. මේ හැර වෙනත් විකල්පයක් නැහැ. මේ හැර රට ගොඩගැනීමේ වෙනත් වැඩපිළිවෙළක් යමෙකුට තිබේ නම් එය ඉදිරිපත් කළ යුතුයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නේ කෙසේද කියා ඔවුන් ප්‍රකාශ කළයුතුයි. අපට ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටිණු ආර්ථිකයක් ඇති යුගයකට නැවත යන්න බැහැ.
අසීරුකම් මධ්‍යයේ වුවද දැන් රට දියුණු වෙමින් පවතිනවා. පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරයේ යම් ප්‍රගතියක් ඇති වුණා. ඒ අනුව එම ක්ෂේත්රයේ කටයුතු කරන අයගේ ගැටළු විසඳෙමින් තිබෙනවා. මේ අන්දමට ඉදිරියේදී අනෙකුත් ක්ෂේත්රවලද ගැටලු නිරාකරණය වෙනවා.
කෙසේ හෝ මෙම අවස්ථාවේ රුපියල අවප්‍රමාණය කිරීමට මම කැමති නැහැ. යුක්රේන යුද්ධය තිබෙනවා. ගාසා තිරයේ යුද්ධය තිබෙනවා. එහි භාණ්ඩ මිල වැඩි විය හැකියි.
දැනටමත් රතු මුහුදේ හූතී කණ්ඩාම් නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නිසා නැව් ගමනා ගමනය නැවති තිබෙනවා. මෙම නැව් රතු මුහුදෙන් එන්නේ නැතිව දකුණු අප්‍රිකාව වටේ ගමන් කළහොත් එයින් බඩු මිල ඉහළ යනවා. එම නිසා හූති වැඩකටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා එහි ආරක්ෂාවට සහාය දීමට අප එකඟ වී තිබෙනවා.
රුපියල ශක්තිමත් කරගෙන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ අප ඉදිරියට ගියහොත් අපට ඉක්මණින් දියුණුවක් ලබා ගැනිමට හැකියාව තිබෙනවා. එහිදී මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයත් විදේශ විනිමය උපයන ක්ෂේත්රයක් බවට පත්කළ යුතු අතර ඊට අවශ්‍ය සහය ලබාදිමට රජය කටයුතු කරන බව ද මම සිහිපත් කිරීමට කැමතියි.
