ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනයෙන් පසු වෘත්තීය ජීවිතයට පැමිණ, තම වෘත්තීය ජීවිතය රට ගොඩනැංවීමට අවශ්‍ය ගුණාංගවලින් පෝෂණය කරගත යුතු බවත්, ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් ලෙස පෞද්ගලික අපේක්ෂාවන් අත්හැර දමා පුරවැසි අපේක්ෂාවන් යථාර්තයක් කිරීමට කැප වූ දේශපාලන ව්‍යාපාරයක් බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ ය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (.16 ) කළුතර, නාගොඩ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ දී පැවති නවක දුම්රිය ආරක්ෂක නිලධාරීන් 87 දෙනෙකු විසිරයාමේ උත්සවය අමතමිනි.
මෙම නවක කණ්ඩායම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී දින 28 ක කඩිනම් නේවාසික පාඨමාලාවක් හදාරා මගීන් හා දේපළ ආරක්ෂා කිරීම පිළිබඳව අවශ්‍ය පුහුණුව සමගින් දුම්රිය ආරක්ෂක අංශයට අනුයුක්ත කිරීමට නියමිතය. මේ යටතේ ඔවුන්ට අවි පුහුණුව, ආත්මාරක්ෂක සටන් ක්‍රම, නායකත්ව කුසලතා වර්ධනය, විනය හා පරිපාලන කටයුතු, ශාරීරික අභ්‍යාස සහ ප්‍රථමාධාර සේවා අංශ පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දී ඇත.
විසිරයාමේ උළෙල ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා :
‘2019 වසරේ පැවති තරග විභාගයට පෙනී සිට සමත් වූ අයදුම්කරුවන් වසර 5 ක් යනතුරු එක අරමුණක සිටිමින් ආරක්ෂක සේවයට එක්වීමට අධිෂ්ඨානශීලී වීම අගය කරනවා. වසර 5 ක් හිත එකතැනක තබාගෙන, බලාපොරොත්තු සහගතව සිටි ඔබ සියලු දෙනාගේ වෘත්තීය ජීවිතය තුළත් රටට හිතෛෂී ගුණාංග එක්කර ගැනීමට කැපවිය යුතුයි. ජීවිතයේ වැඩි කාලයක් දුම්රිය සේවාව සමග බැඳුණු රාජකාරියක් සහිත ආරක්ෂක සේවාවට ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම පමණක් නොව දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා ද දායකත්වය ලබාදිය හැකියි.’
නේවාසික පුහුණුව හැදෑරූ නිලධාරීන් අතරින් දක්ෂතම ආධුනික නිලධාරියා ලෙස කේ. තාරක සිරිවර්ධන මහතා මෙහි දී සම්මානයට පාත්‍ර විය.
මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නියෝජ්‍ය පොලිස්පති (පුහුණු) ඒ. අනුර පුෂ්ප කුමාර, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුෂාන්ත රුවන් තලගල, දුම්රිය ආරක්ෂක අධිකාරි කේ.ජී. අනුර ප්‍රේමරත්න, නියෝජ්‍ය ආරක්ෂක අධිකාරි ජී.ඩබ්ලිව්. සුමිත් යන මහත්වරු ඇතුලු පොලිස් හා දුම්රිය සේවා නිලධාරීහු රැසක් සහ නවක නිලධාරීන්ගේ දෙමව්පියෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිය හ.
