Spread the love

නිමල් රාජපක්ෂ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ආසනයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තෝරයාය – නාරම්පොල ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.11 දින ආරම්භ කෙරිණ.

වැල්ලව – දඹුල්ල ප්‍රධාන මාර්ගයට සහ කුරුණෑගල නගරයට ප්‍රවිශ්ට විය හැකි කෙටි මාර්ගයක් වන මෙම මාර්ගයේ කිලෝමීටර් 1.8 ක දුර ප්‍රමාණයක් ප්‍රමුඛතා මාර්ගයක් ලෙස කාපට් අතුරා සංවර්ධනය කරනු ලබන අතර, ඒ සඳහා රුපියල් මිලියන 46.3 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු කම්කරු ශ්‍රමය යොදා ගනිමින්, වයඹ පළාත්භාර අධ්‍යක්‍ෂ කාර්යාලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙහි සංවර්ධනය කටයුතු සිදු කෙරේ.

මෙම අවස්ථාවට සහභාගි වූ ජනතාව ඇමතූ බිමල් රත්නායක අමාත්‍යවරයා :
‘රටේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ගමේ ප්‍රජාව මූලික කර ගනිමින් අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබාදෙනවා. සංවර්ධනයේදී පක්‍ෂ පාට බලන්නේ නෑ, සජබ, පොහොට්ටු, ටීඑන්ඒ බේදයක් නැතුව අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙනවා. පසුගිය මැතිවරණයේදී ජනතාව අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට මේ රටේ පාලනය ලබාදුන්නා. එම රජය මහජන මුදල් ඉතිරි කරමින්, බදු මුදල් ආරක්‍ෂා කරමින් නැවත ජනතාවගේ ප්‍රතිලාභ සඳහා ලබාදෙමින් සිටිනවා. මේ වැඩපිළිවෙලට ශක්තිය දුන්නේ ඔබයි.

මෙතෙක් කල් බලයේ සිටි ආණ්ඩු වැඩියෙන් බෙදාගත්තා. ජනතාවට අඩුවෙන් බෙදුවා. පොදු යහපත වෙනුවෙන් කැපවන ආණ්ඩුවට එරෙහිව සතුරන් මාධ්‍ය බලය, ධන බලය යොදා බලපෑම් කරනවා. ඔබ සියලුදෙනා එක්වී මෙම පුනරුද ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙලට සහය දක්වන මෙන් ඉල්ලා සිටිනවා.’