දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකියාව ඇති බවට ආණ්ඩුවට කලින්ම ඒත්තු ගොස් තිබූ හෙයින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පාර්ලිමේන්තුවේ අදාල ඡන්දය විමසන අවස්ථාවේ අත්‍යවශ්‍ය වෙනත් රාජකාරි කිහිපයකට යාමට අවසරය ලබා දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය පවසයි.
ලොහාන් රත්වත්ත, තිස්ස කුට්ටිආරච්චි, ජගත් කුමාර මෙන්ම නාමල් රාජපක්ෂ හා ජෙන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ කාර්යාලයට දැනුම් දී ඇත්තේ තමන් අත්‍යවශ්‍ය රාජකාරීන් කිහිපයක පසුවන බවත් ඡන්දය පිළිබඳ ගැටළුවක් පවතින්නේ නම් පාර්ලිමේන්තුව ආසන්නයේ සිටින නිසා කඩිනමින් පැමිණිය හැකි බවත් ය.
මහින්ද රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන්,ගීතා කුමාරසිංහ මහත්ම මහත්මීන් අසනීප තත්ත්වයෙන් පසුවන බව ආණ්ඩු පක්ෂ කාර්යාලය වෙත දැනුම් දී තිබේ.
තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු විශ්වාසභංග යෝජනාව විවාදයට දින නියම කරන්නත් පෙර විදේශගත වීමට අවසර ගත් අය බවද විශ්වාස භංගයේ ඡන්දයට ඔවුන්ගේ නොපැමිණීම බලපෑමක් නොවන හෙයින් ඔවුන් නැවත ගෙන්වීමට අදහස් නොකළ බව ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය සඳහන් කරයි.
චමල් රාජලක්ෂ, විදුර වික්‍රමනායක, ධම්මික පෙරේරා, දිලුම් අමුණුගම, මර්ජාන් ෆලීල් මන්ත්‍රීවරු විදේශ ගතවී සිටිති.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ පාර්ලිමේන්තුව ආසන්නයේ සිටි මන්ත්‍රී පිරිස සභාවට ගෙන්වූයේ නම් ආණ්ඩු පක්ෂයට ඡන්ද 113 ට එහා සංඛ්‍යාවක් පෙන්වීමට හැකියාවක් තිබූ බවත් විපක්ෂයෙ මන්ත්‍රීවරුන්ද එම අවස්ථාවේ සභාවේ නොසිටි නිසා ආණ්ඩුවේ අවශ්‍යතාවය වූයේ පනත බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම බවත් ය.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45 කින් සම්මත කර ගැනීමට රජයට හැකියාව ලැබුණු බව ද ප්‍රසන්න රණතුංග මහතා කීය.
