වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යළි කතා බහක් මතුවෙයි
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාඊයේ (22) උදෑසන 10.20ට පමණ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඔහුගේ කාමරය තුළදී ඝාතනයට ලක් විය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලිපියක් අත්සන් කරගැනීමට යන මුවාවෙන් කාමරය තුළට ගොස් වෙඩි තබා පලාගොස් තිබුණි.
එහිදී බරපතළ තුවාල තැබු සභාපතිවරයා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකය තුළදී ජීවිතක්ෂයට පත්විය.
මෙම ඝාතනයත් සමග සමාජය තුළ යළිත් වරක් පාතාල කල්ලි අතර ඝාතනයන් සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.
ඊට හේතු වී ඇත්තේ මොහු ‘ශන්ෂයින් සුද්දා’ නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව තිබීමය.
මොහුට විරුද්ධව අධිකරණය තුළ නඩු 06ක් පවතින අතර මොහු අත්හිටවූ සිරදඬුවම් මත සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම ලසන්ත වික්‍රමසේකර මහතා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන මේවන විට බන්ධනාගාර ගතව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවට ද අනාවරණය වී ඇත.
හරක් කටාගේ කල්ලියේ ප්‍රධානීන් වන ‘මිදිගම චූටි’ හා මිදිගම රුවන් සමග ද ඔහු සමීප ඇසුරක් පවත්වා ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.
පසු කලෙක මිදිගම රුවන් එම කණ්ඩායමෙන් වෙන් වී ඇති අතර අනතුරුව ඔහුගෙන් වික්‍රමසේකර මහතාට මරණ තර්ජන එල්ලවී ඇති බව පොලීසිය පැවසීය.
