ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් පැවැත්වීමට හැකියාවක් නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් 2024 අප්‍රේල් 20 වැනි දින කැඳවා තිබූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම සහ අප්‍රේල් 21 වැනි දින කැඳවා තිබූ විධායක සභා රැස්වීම අනීතික ලෙස පැවැත්වූ ඒවා බවත් එබැවින් එම රැස්වීම් වලදී ගනු ලැබූ කිසිදු තීරණයක් නීත්‍යානුකූල නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් මේ වනවිට වාරණ නියෝගයක් පනවා ඇති පසුබිමක් තුළ විධායක සභා රැස්වීමක් සහ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීම තුළින් පක්ෂයේ වැඩ බලන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා පක්ෂ ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අභිබවා යමින් අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත් තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නිර්මාණය වී ඇති අර්බුදය විසඳා ගැනීමට නිත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් සියලු පාර්ශ්වයන් ඒකරාශී කර ගනිමින් පොදු සම්මුතියකට පැමිණිය යුතු බවත් තිලංග සුමතිපාල මහතා මෙම ලිපියෙන් පෙන්වා දී ඇත.
එම පොදු සම්මුතියේ සිට නිත්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා පක්ෂයේ සභාපතිවරයාට පනවා ඇති වාරණය ඉවත් කරන තෙක් පක්ෂය ඉදිරි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා තාවකාලික වැඩ බලන සභාපතිවරයෙකු දැනට පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයන් අතරින්ම පත්කර ගත යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා මෙම ලිපිය මගින් යෝජනා කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ ඉටු කරනු ලබන විපක්ෂයේ කාර්ය භාරය පසුගිය කාලය පුරා ඉතා සාර්ථකව කරගෙන ගිය පක්ෂයේ ජේෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුම වර්තමාන මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන බැවින් ඔවුන්ගෙන් අයෙකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සිදුකළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
