නිමල් රාජපක්ෂ-
ජීවන කුසලතා, ක්‍රීඩාව, කලාව හා වෘත්තීය පුහුණුව යන අංශ හතර එකට එකම තැනකින් ලබා දීමට හැකියාවක් ඇත්නම් විනය ගරුක පරපුරක් ගොඩනැඟිය හැකි බවත්, පවතින අධ්‍යාපන ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු තැනක පවතිද්දී උසස් පෙළින් ඉදිරියට යන පිරිස හැර ඉතිරි පිරිස ප්‍රායෝගික ජීවන කුසලතාවය මෙන්ම වෘත්තීය දැනුම ඇති පිරිසක් බිහි කිරීමේ වගකීම ජාතික යොවුන් සේනාංකය සතුව පවතින බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ජාතික යොවුන් සේනාංකය මඟින් දිවුලපිටිය පුහුණු මධ්‍යස්ථානය තුළ ඉදි කරන ලද නෙට්බෝල්, වොලිබෝල්, වායු රයිෆල් සහ දුනු විදීමේ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “පැවති ආර්ථික අර්බුදය හමුවේ විදෙස් රැකියා සඳහා බොහෝ පිරිසක් රටෙන් නික්ම ගිය ද ඔවුන් වෘත්තීය දැනුමින් සන්නද්ධ නොවීම නිසා බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණපාන්නට වුණා.රටේ තරුණ පිරිසෙන් බහුතරයක් මුකුත්ම වෘත්තීයමය දැනුමක් නොදන්න ගොඩට වැටිලා. එම පිරිසෙහි වගකීම ජාතික යොවුන් සේනාංකය ඇතුළු තරුණයින් සඳහා ස්ථාපිත ආයතන භාර ගත යුතු වෙනවා. එම වගකීමෙහි කොටස්කරුවන් වීමට අපි සියලු දෙනා ඇපකැප වී කටයුතු කළ යුතු වෙනවා. පවතින සම්පත් උපරිම ප්‍රයෝජනයට ගනිමින් වෘත්තීය පුහුණුව තුළින් නිපුණතා පිරිපුන් තරුණයකු ගොඩනැගීම අත්‍යවශ්‍ය වකවානුවක තමයි ඔබ අප සියලු දෙනා සිටින්නේ.
ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ශ්‍රී ලංකා නාවුක හමුදාවත් අතර වොලිබෝල් තරඟයක් හා ගම්පහ රත්නාවලී බාලිකා විදුහලත්, ගම්පහ සිරිකුරුස විදුහලත් අතර නෙට්බෝල් තරඟයක් ප්‍රදර්ශනාත්මකව පැවැත්වීම ද විශේෂත්වයක් විය.
