Spread the love


නිමල් රාජපක්ෂ-

   

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් නතර කොට තිබු සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය යන සංචාරක කලාප ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව එම ව්‍යාපෘතිය යළි ආරම්භ කෙරේ.
2019 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය රටේ ඇතිවු කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කෙරිණි. මේ වසරේදී එම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හදුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට විශාල ආදායමක් උත්පාදනය කරගත හැකි බවත් ඒ සදහා ඇස්තමේන්තු ගත මුළු මුදල රුපියල් මිලියන 1,045 කි. ඉන් රුපියල් මිලියන 320 ක් මේ වසර සදහා වෙන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයකි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීම, ආර්ථික සංවර්ධනය හා ආදායම් උත්පාදනය කිරීම සහ පාරිසරික කළමණාකරණය ඒ අතර වේ. ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල සංචාරක කර්මාන්තය නගා සිටුවීම පාර්ශවකාර ආයතන සමග එක්ව මේවන විට ඊට අදාළ සැලසුම් සකස් කර තිබේ.
සීගිරිය සංචාරක කලාපයක් වශයෙන් සංවර්ධනය කිරීම උප ව්‍යාපෘති 8 ක් යටතේ සිදු කෙරේ. එනම් සීගිරිය නව ගම්මාන රථගාල, සනීපාරක්ෂක පහසුකම් හා සීගිරිය පර්වත පිවිසුම් ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම, පිදුරංගල මාපාගල පුරාවිද්‍යා ස්ථානය සංරක්ෂණය, කළුදිය පොකුණ වැඩිදියුණු කිරීම, රාමකැලේ සිට පිදුරංගල දක්වා උරුම මාවත සංවර්ධනය, සීගිරි වැව වැඩිදියුණු කිරීම, තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීම, ඉනාමළුව වැව හා ගලේවෙල වැව අවට යටිතල පහසුකම් සංවර්ධනය, කැලිකසල කළමණාකරන පද්ධතිය වැඩිදියුණු කිරීමයි.
ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය උප ව්‍යාපෘති 6 කින් සමන්විතය. ඩච් බේ (Dutch Bay) සහ බැක් බේ (Back Bay) වෙරළ සංවර්ධනය, ෆෙඩ්රික් කොටුව සංරක්ෂණය හා වැඩි දියුණු කිරීම, උණුදිය උල්පත්වල පොදු පහසුකම් සංවර්ධනය, පාවෙන ආපන ශාලාව හා පරිසර උද්‍යාන ඉදිකිරීම මගින් පවුඩර් අයිලන්ඩ් සහ ක්‍රෝ අයිලන්ඩ් ප්‍රදේශ වැඩිදියුණු කිරීම, යටත් විජිත ගොඩනැගිලි නවීකරණය සහ ත්‍රිකුණාමලය වරාය ප්‍රධාන කාර්යාල පරිශ්‍රය සංවර්ධනය කිරීම එම ව්‍යාපෘති 6 යි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගර හා ඒ අවට හදුනාගත් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කලාප ලෙස සංවර්ධනය කරන බවයි.