නිමල් රාජපක්ෂ
මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙම කරුණු සඳහන් කළේ චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ (China International Communications Group – CICG) සභාපති ඩූ ෂැන්යුවාන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේ දී ය.
මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්රයන් හි අභිවෘද්ධිය වෙනුවෙන් චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් සහ මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධව අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමත්, දැනුම හුවමාරු කර ගැනීමත් මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
ශක්තිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය වන මානව සම්පත් සංවර්ධනය සහ ඊට අදාළ විශේෂඥ දැනුම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මුල්‍ය ආධාර ලබාගැනීම, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සහ නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ භාවිතය, රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය මෙන් ම සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය උදෙසා සන්නිවේදන ක්ෂේත්රයේ භාවිතාවන් වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහි දී දීර්ඝ ව සාකච්ඡා සිදු කෙරිණි.
දරිද්‍රතාවය තුරන් කිරීමේ චීනයේ ජයග්‍රහණ සහ දකුණු ආසියානු සහයෝගීතා ආධාර අරමුදල මෙන් ම විවිධ ව්‍යාපෘති මුලපිරීම් හරහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීමට ඇති කැපවීම පිළිබඳව මෙහි දී පෙන්වා දුන් චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායමේ සභාපති ඩූ ෂැන්යුවාන් මහතා චීනයේ සංවර්ධනය ලොවට හඳුන්වා දීම සහ ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද වැඩබලන අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා දැනුවත් කරන ලදි. එමෙන් ම දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ චීන-දකුණු ආසියානු සංසදය 2025 පිළිබඳව ද අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කරන ලදි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා සමග මීට ඉහත දී මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ ඉදිරි කටයුතු පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සාකච්ඡා සිදු කරනු ලැබු බව සඳහන් කළ වෛද්‍ය හංසක විජේමුණි මහතා, දකුණු ආසියාවේ සංවර්ධනය සඳහා කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන චීනයේ සංවර්ධනය ලොවට හඳුන්වා දීම සහ ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරන බව ද සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහ විශේෂඥතාවයන් මහෝපකාරි වනු ඇති බව ද මෙහි දී විශේෂයෙන් සඳහන් කරනු ලැබී ය.
චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහය (CICG) 1949 ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කර ඇති අතර, එතැන් සිට එය චීනයේ සංවර්ධනය ලොවට හඳුන්වා දෙමින් සහ ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධනය කරමින් සිටී.
CICG අනුබද්ධිත ආයතන 21 කින් සමන්විත වන අතර, ජාතික සංගම් දෙකක් පරිපාලනය කරන අතර රටවල් සහ කලාප 14 ක විදේශීය ශාඛා 26 ක් ඇත. වාර්ෂිකව, එය භාෂා 40 කට වැඩි ගණනකින් පොත් සහ වාර සඟරා 3,000 ක් පමණ ප්‍රකාශයට පත් කරනු ලබන අතර, එහි ප්‍රකාශන රටවල් සහ කලාප 180 කට වැඩි ගණනක බෙදා හරිනු ලබයි. එහි මාර්ගගත ප්‍රේක්ෂකයින් ද ලොව පුරාම විහිදී සිටී.