ඉන්දියාවේ පාන්ඩිචෙරි කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මගී යාත්‍රා(ෆෙරි) සේවයේ පලමු මගී යාත්‍රාව ලබන අප්‍රේල් 29 දින පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම කරුණු පැවසුවේ පසුගිය 24 දින මෙම මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීම සම්බන්ධ පාර්ශවයන් සමඟ අමාත්‍යංශයේදී පැවති සාකච්චාවකදීය.
මෙම මගී යාත්‍රා (ෆෙරි) සේවාව ආරම්භ කිරීමේදී කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් දියුණු කිරීම යටතේ නව මගී පරියන්තයක් ඉදි කරනු ලබයි. මෙම සමස්ත සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 144 ක පමණ මුල්‍ය ප්‍රතිපාදන ශ්‍රි ලංකා වරාය අධිකාරියෙන් ලබා දී ඇති අතර, එම පර්යන්තයේ ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.
මේ වන විට ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් පර්යන්තයේ මුලික ඉදිකිරීම් කටයුතු සිදු කරමින් ඇති අතර අප්‍රේල් මස 02 වන සතිය තුළ ඉදිකිරීම් අවසන් කොට ශ්‍රී ලංකා වරාය අධිකාරියට භාර දීමට නියමිත බව මෙම සාකච්චාවේදී හෙලි විය.
මෙම සාකච්චාවට සහභාගී වූ ෆෙරි යාත්‍රා හිමියන් කියා සිටියේ එක් ගමන් වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50 ක් අය කෙරෙණ බවත්, එක් මගියෙකුට කිලෝ 100 ක් භාණ්ඩ රැගෙන යා හැකි බවත්ය.
ෆෙරි යාත්‍රාවක වරකට මඟීන් 150 දෙනෙකු පමණ රැගෙන යා හැකි අතර කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා යාත්‍රා කිරීමට පැය 04 ක් පමණ ගතවන බවත්, පලමුව දිවා කාලයේ පමණක් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව යාත්‍රා හිමියන් මෙහිදී අවධාරණය කලේය.
අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේ මෙම ෆෙරි සේවාව විවෘත බැවින්, ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ සිටින ඕනෑම ව්‍යාපාරිකයකුට මෙම ෆෙරි සේවාවට සම්බන්ධ විය හැකි බවයි.
මෙම ෆෙරි සේවාවට අමතරව කන්කසන්තුරේ වරාය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කරන බව පැවසු අමාත්‍යවරයා, මේ සඳහා දැනට ඉන්දියානු රජයෙන් ලබා දී ඇති ණය මුදල ප්‍රමාණවත් නොවන බැවින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක මුදලක් ඉන්දියන් එක්සිම් බැංකුවෙන් ඉල්ලා ඇති බවයි.
