නිල් කට්රොළු මල් ( Butter Fly Fee Flower- Clitoria Terentea) ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී. විශේෂයෙන් නිල් කට්රොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කට්රොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපල තුළ ඉහළ මිලකට අලෙවි වේ.
පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී ඇති අතර අප රටේ වළස්මුල්ල ඔමාරගම ගමේ ගැමිලියෝ ද මේ වනවිට නිල් කට්රොළු මල් වගාවට අවතීර්ණව සිටිති.
වළස්මුල්ල ඔමාරගම ගෙවිලියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට නිල් කට්රොළු මල් වගාව මේ වනවිට පත්ව තිබේ.වේලන ලද නිල් කට්රොල් මල් පුද්ගලික සමාගමක් මගින් විදේශ රටවලට අපනයනය කරන අතර ඔවුන්ට එමගින් විශාල ආදායමක් මාසිකව ඉපයීමට හැකි වී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (10) ඔමාරගම ගමේ නිල් කට්රොළු මල් වගාව හා සැකසුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට සහභාගි විය.
දැනට පවතින මිල ගණන් අනුව වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5000ක් වැනි මිලකට අලෙවි කරනු ලබයි. වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් සෑදීම සඳහා අමු මල් කිලෝ ග්‍රෑම් 10ක් අවශ්‍ය වේ.
ඔමාරගම ගමේ කාන්තාවෝ 60ක් පමණ දැනට මෙම වගාවේ නියැලී සිටිති. ඉදිරි අප්‍රේල් හා මැයි මාසය නිල් කට්රොළු මල් බහුල කාලය වේ. එම කාලය තුළ වැඩි ආදායමක් උපයා ගැනීමට ද හැකි බව එම කාන්තාවෝ අමාත්‍යවරයා සමග පැවසූහ. එමනිසා ඔවුන්ට මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා නව ගොඩනැගිල්ලක් හා මල් වේලන යන්ත්‍රයක් ලබා දෙන ලෙස එම කාන්තාවෝ ඉල්ලීමක් කළහ.
මෙම මල් වියැලීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘතියක් මගින් අවශ්‍ය අරමුදල් සැපයීමට හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
පිලිපීනය, තායිලන්තය වගේ රටවල් මේ නිල්කටරොළු මල් තේ බොන්නෙ රෑ කෑමෙන් පස්සෙ පැණි හෝ දෙහි යුෂ දාලා. අපිට මේ මල් උණුවතුරට දාලා පානයක් හදලා බොන්න පුළුවන්. ඒ වගේම නිල්කටරොළු බත්, කේක්, ජෙලි, සරුවත්, පෑන් කේක් වගේම ස්වභාවික ආහාර වර්ණකයක් විදියට භාවිතා කරන්නත් පුළුවන්.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට ක්‍රියාත්මක කර තිබෙන කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළට අදාලව මෙම නිල් කට්රොළු මල් වගා කිරීමේ ව්‍යාපෘතියත් එකතු කර එම කාර්යයෙහි නිරත කාන්තාවන්ගේ ජීවන මට්ටම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මුල්‍යමය හා තාක්ෂණික සහනාධාර ලබා දීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය
