Spread the love

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.


අපේ මව්බිම කැබැලි කිරීමේ බෙදුම්වාදින්ගේ උවමනාව ඉටු කිරීමේ වගකීම භාර ගත් ඊනියා සාම කපුවා, එරික් සෝල්හයිම් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ලෙසින් නැවත කරලියට ඇවිත් තිබෙනවා.


සෝල්හයිම් දන්න දේශගුණික විපර්යාසයක් නෑ. එක්සත් ජාතින්ගේ සංවිධානයට යහමින් මුදල් වැය කරන නෝර්වේ ඉල්ලීමට එක්සත් ජාතින්ගේ එක්සත් ජාතින්ගේ පරිසර ප්‍රධානියා ලෙස සෝල්හයිම්ව පත් කළා.


නමුත් මාස 22ක් තුල කිසිම ඵලදායි මෙහෙවරක් නොකර සිය විදේශ සංචාර වලට ඩොලර් ලක්ෂ 5ක් වැය කිරීම නිසාත් පරිසර විශේෂඥයින්ගේ දැඩි විරෝධයට ලක් වූ නිසාත් අභ්‍යන්තර රෙගුලාසි උල්ලංඝණය කළ නිසාත් 2018 නොවැම්බර් මාසයේ දී ඔහුට ඉල්ලා අස් වෙන මෙන් එක්සත් ජාතින්ගේ මහ ලේකම් දැනුම් දුන්නා.


දේශගුණික විපර්යාස පිළිබඳ නරක ඉතිහාසයක් තිබෙන සෝල්හයිම් ජනපතිගේ උපදේශක වුණේ ඇයි? ඇත්තෙන්ම එතුමාගේ රාජකාරිය දේශගුණ විපර්යාස පිළිබඳ උපදෙස් දීම නොවේ. එතුමා හොදින් හදුනන දෙමළ බෙදුම්වාදින් ආණ්ඩුව සමග සම්බන්ධීකරණය කිරීමයි.


මේ වන විට තව දුරටත් ලංකාවට අධාර සැපයීම කළ නොහැකි බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා. චීනය සමග දිගින් දිගටම නිදහස් වෙළද ගිවිසුම අත්සන් තැබීම කල් දැමීම නිසා එම ගිවිසුම අත්සන් තබන තෙක් ඒ අයගෙන් සහයක් ලැබෙන්නේ නෑ. යුද්ධයක පැටලිලා නිසා රුසියාවටත් ආර්ථික අර්බූදය නිසා යුරෝපයටත් උදව් කරන්න බෑ. පසුගිය සමයේ සිත් රිදුනු ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විතරයි එකඟතාව පල කර තිබෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කරන තුරු මූල්‍ය අරමුදලෙන් ආධාර බලාපොරොත්තු විය නොහැකියි.


මේ තත්වය යටතේ ආණ්ඩුවේ බලාපොරොත්තුව වී තිබෙන්නේ දෙමළ බෙදුම්වාදින් පමණයි. කොටි සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගය කප්පම් එකතු කිරීම කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. නමුත් තිත්ත ඇත්ත නම් කොටි අරමුදල් හෙව්වේ මිනිස් ජාවාරම, ආයුද ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, පුරාවස්තු ජාවාරම, කළු සල්ලි සුදු කිරීම, නැව් සේවා, ආපන ශාලා, රූපවාහිනි සහ ගුවන් විදුලි සේවා පවත්වා ගෙන යෑමයි. මේ ක්‍රම වලින් සෙවූ සල්ලි වියදම් කලේ යුද වැදීම සහ ඊනියා දෙමළ ඊළමේ පරිපාලනයට. කොටි පොලිසි සහ කොටි උසාවි මතකනෙ.


දැන් ආදායම පරණ විධියටම එනවා. නමුත් 2009 සිට ප්‍රධාන වියදම් දෙකම නෑ. ඒ නිසා වාර්ෂිකව ඩොලර් මිලියන සිය ගණනක් එකතු වෙලා ඩොලර් බිලියන ගණනක අරමුදලක් බෙදුම්වාදින් ගාව තිබෙනවා. සෝල්හයිම්ට පැවරෙන රාජකාරිය තමයි දෙමළ බෙදුම්වාදින්ගේ ඉල්ලීම් දීලා ඔවුන් සතුටු කරලා බෙදුම්වාදින්ගෙන් ණය සහ ආයෝජන ලබා ගැනීමයි.


බෙදුම්වාදින්ගේ ඩොලර් වුවත් අපේ රටේ ආයෝජනය කරනවාට අපි විරුද්ධ නෑ. නමුත් බෙදුම්වාදී ඉල්ලීම් ඉටුකරලා අපේ රට අසරණ කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ මොහොතේ බඩගින්න නිවන්න අපේ රට නැවතත් යුධ ගින්නකට ඇදලා දැම්මොත් ඒක බලවත් අපරාධයක්.
– මාධ්‍ය අංශය