Spread the love

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි ‍නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි.

අද පෙරවරුවේ අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයාව කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.

ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය.

අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

එමෙන්ම ගොවිපොළ නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

එම කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් ද තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මේ අතර සති අන්තයේ ගොවිපොළ නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

1940 දශකයේදි ආරම්භ කෙරුණු අඹේවෙල ගොවිපොළ 2001 වසරේ පෞද්ගලීකරණයට ලක් කෙරුණු අතර ඉන් පසු සිදු කෙරුණු පුළුල් නවීකරණය හේතුවෙන් මේ වන විට එය කිරි නිෂ්පාදන සහ ගොවිපොළ තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බවට පත්ව ඇති බව අඹේවෙල ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.

ගොවිපොළේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේ සිටම ලබාදෙන සහාය මෙහිදී අගය කළ ඒ මහතා ජනාධිපතිවරයා නිරතුරුවම ගොවිපොළේ කටයුතු සොයා බැලීමට පැමිණීම පිළිබඳවද ස්තූතිය පිරිනැමීය.

2022 දෙසැම්බර් මස ජනාධිපතිවරයා ගොවිපොළ වෙත පැමිණෙන විට එහි දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 40,000ක් පමණ වූ බවත්, පසුව ක්‍රියාත්මක කළ නවීකරණ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වසර වන විට කිරි ලීටර් 52,000ක දෛනික නිෂ්පාදනයක් සිදු කෙරෙන බවත් එය 30%ක වර්ධනයක් බවත් සරත් බණ්ඩාර මහතා පැවසීය.