Spread the love

මාලන් විතාන –

මොන්ගෝලියාවේ උලාන්බාටාර් නුවර පැවැති කාන්තාරීකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 17 වැනි පාර්ශ්වකරුවන්ගේ සමුළුව (UNCCD COP17) අතරතුර පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ UNCCD විධායක ලේකම්වරිය වන Yasmine Fouad මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (27) පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ UNCCD ලේකම් කාර්යාලය අතර පවතින දිගුකාලීන සහයෝගීතාව අමාත්‍යවරයා විසින් අවධාරණය කළ අතර, භූමි හායනය, නියඟය, භූමි ප්‍රතිසංස්කරණය, තිරසර භූමි කළමනා කරණය සහ දේශගුණික අනුර්වර්තනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ තාක්ෂණික හා ආයතනික සහයෝගය පිළිබඳව UNCCD වෙත ස්තූතිය පළ කළේය. දේශගුණික විපර්යාස හේතුවෙන් නියඟය, ජල හිඟය සහ අනෙකුත් දේශගුණික ආපදා තත්ත්වයන්ගේ බලපෑම් වැඩි වෙමින් පවතින බැවින්, ශ්‍රී ලංකාවේ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව සහ ජාතික මට්ටමේ සූදානම ශක්තිමත් කිරීම සඳහා UNCCD සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයෙකු UNCCD පාර්ශ්වකරුවන්ගේ සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වීම පිළිබඳවද අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාව UNCCD හි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියේදීද සක්‍රීයව දායක වීමට සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කළේය. සාකච්ඡාවේදී 2030 න් පසු UNCCD රාමුව පිළිබඳවද විශේෂ අවධානය යොමු විය. එම රාමුව සකස් කිරීමේදී විවිධ කලාපවල රටවල අත්දැකීම්, අභියෝග සහ තාක්ෂණික දැනුම, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ ආසියා – පැසිෆික් කලාපයේ අවශ්‍යතා, ප්‍රමාණවත් ලෙස පිළිබිඹු විය යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කළේය.

එමෙන්ම අන්තර් රාජ්‍ය ක්‍රියාකාරී කණ්ඩායම (IWG) ඇතුළු UNCCD ක්‍රියාවලීන් තුළ කලාපීය හා තාක්ෂණික සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව භූමි හායනයේ ශුද්ධ ශුන්‍යතාව (LDN), භූමි ප්‍රතිසංස්කරණය, නියඟයට ඔරොත්තු දීම, තිරසර භූමි කළමනා කරණය සහ දේශගුණික ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සිය අත්දැකීම් සහ දැනුම බෙදාගැනීමට සුදානම් බවද ප්‍රකාශ කළේය. සාකච්ඡාවේදී UNCCD විධායක ලේකම්වරිය විසින් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලබාගත හැකි වැදගත් සහයෝගීතා හා මූල්‍ය අවස්ථා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළාය.

ආසියානු සංර්වර්ධන බැංකුව (ADB) විසින් COP17 සමුළුවේදී භූමි හායනය සහ කාන්තාරීකරණය සම්බන්ධ ක්‍රියාමාර්ග සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2ක මූල්‍ය සහායක් ලබාදීමට ප්‍රතිඥා දී ඇති බව ඇය සඳහන් කළාය. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට සුදුසු ව්‍යාපෘති හඳුනාගෙන සකස් කර ADB වෙත ඉදිරිපත් කිරීමට භාවිත කළ හැකි බවත්, එම ව්‍යාපෘති සංර්වර්ධනය කිරීම සඳහා UNCCD Global Mechanism වෙතින් තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව සලකා බැලිය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

තවද, Riyadh Drought Resilience Partnership යටතේ ශ්‍රී ලංකාවේ නියඟ කළමනා කරණ සැලැස්ම ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගීතා අවස්ථාවක් පවතින බව ද ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ එල්ලංගා ජල කළමනා කරණ පද්ධතිය සම්බන්ධයෙන් UNESCO සමඟ සහයෝගීතාවක් ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා විය. UNCCD සහ UNESCO අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බැවින්, එම සහයෝගීතාව යටතේ ශ්‍රී ලංකාව සමඟ පළමු ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ El Niño කළමනාකරණය සඳහා ස්ථාපිත Cabinet anointed sub committee සඳහා අවශ්‍ය සහාය පිළිබඳව ද UNCCD විධායක ලේකම්වරිය විමසා සිටියාය. මෙහිදී භූගෝලීය අවකාශීය තොරතුරු (Geospatial Information) භාවිතය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සමඟ ඒකාබද්ධ සහයෝගීතාවක් ඇති කර ගැනීම වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය. මෙම යෝජනා ශ්‍රී ලංකාවේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කළ අතර, ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය සහ සහයෝගීතාව පිළිබඳ නිශ්චිත අවශ්‍යතා ඇතුළත් විධිමත් ඉල්ලීමක් UNCCD වෙත යොමු කරන ලෙස විධායක ලේකම්වරිය ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකාවේ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව, භූමි ප්‍රතිසංස්කරණය, තිරසර භූමි කළමනා කරණය සහ දේශගුණික අනුර්වතනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා UNCCD සමඟ පවතින සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම, UNCCD විධායක ලේකම්වරියට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍යවරයා විසින් ආරාධනා කරන ලදී.

මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාව සහ UNCCD අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ඉහත හඳුනාගත් ව්‍යාපෘති, තාක්ෂණික සහාය සහ මූල්‍ය අවස්ථා ක්‍රියාත්මක කිරීම සඳහා නව මංපෙත් විවෘත කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාව සහ UNCCD අතර පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, භූමි හායනයේ ශුද්ධ ශුන්‍යතාව, නියඟයට ඔරොත්තු දීම, තිරසර භූමි කළමනාකරණය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට නව තාක්ෂණික හා මූල්‍ය අවස්ථා ලබා ගැනීමටත් වැදගත් පියවරක් විය.