නිමල් රාජපක්ෂ
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තුළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සමහර පිරිස් වැරදි තොරතුරු සමාජගත කරන බවත් සත්‍ය හා නිවැරදි තොරතුරු සමාජගත කරන වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිමය ගුණාංග වලින් යුතු වෘත්තිය මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ පදනම් ආයතනයේ අද (12) දින පැවති ස්වාධින රුපවාහිනී සේවයේ MMC ITN Campus හි පළමු සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් වෙනුවෙන් සහතිකපත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
පාඨමාලාව සාර්ථකව අවසන් කර රන් සම්මාන දිනාගත් අභිෂේක දුනේකේවෙල, දිමුතු නිර්මාන් සහ කාවින්ද්‍යා ගිම්හානි යන සිසුසිසුවියන් වෙනුවෙන් රන්සම්මාන ප්රදානය කිරීම අගමැතිතුමිය අතින් සිදු කෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,
බහුමාධ්‍ය නැතිනම් Multi-media විෂය ක්ෂේත්රයේ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් ආරම්භ කරන ITN Multi Media Campus (බහුමාධ්‍ය කැමපස්) ආයතනය ඊළඟ පරම්පරාවේ මාධ්‍ය වෘත්තිකයන්, විකාශකසින්, ඩිජිටල් නිර්මාණකරුවන් සහ සන්නිවේදන විශේෂඥයින් හැඩගැස්වීම සඳහා කැප වූ පුරෝගාමි අධ්‍යාපන ආයතනයක්. ලොව පුරාම නිර්මාණාත්මක හා ඩිජිටල් කර්මාන්තය සෑම වසරකම ඩොලර් ස්ට්රේලියනයකට වඩා උපයන බව සංඛ්‍යාලේඛන අපට පෙන්වා දෙනවා. මේවා තවදුරටත් අපට දුරස්ථ සංඛ්‍යාලේඛන නෙවෙයි. ශ්‍රී ලාංකික අපේ තරුණයින්ට,නිර්මාණ ශීලිත්වය උපතින්ම උරුම වූ දෙයක්. එය ජීවනෝපායක් බවට පත් කර ගැනීමට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම මේ තුළින් සිදු වෙනවා. ඒ නිසා නිසි හැදෑරීමකින් යුතුව මේ ක්ෂේත්රයට පිටිසීමට මෙය මහඟු අවස්ථාවක්.
වීඩියෝව නරඹන්න
Immersive Artificial Intelligence, Big Data, Digital Analyties, Digital Media Technologies වැනි විෂය ක්ෂේත්රයන් ගැන වැඩි වශයෙන් කතා කෙරෙන වර්තමාන ලෝකයේ ඩිජිටල් නිර්මාණ අධ්‍යයනය කියන්නේ අලුත් දෙයක් හෝ සුඛෝපභෝගී දෙයක් නොවෙයි. එය සෑම වෘත්තිකයකුම අඩුවැඩි වශයෙන් පරිශීලනය කළ යුතු විෂයයක් විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවකාශයන් ඔස්සේ නිර්මාණ කරණයේ යෙදෙන වර්තමාන පරම්පරාව ගැන සලකා බැලුවොත්, ඔවුන් අතිශය නිර්මාණශීලි සහ තමන් පිළිබඳ විශ්වාසයෙන් යුතුව වැඩ කරන්න දන්න කොටසක් බව දකින්න පුළුවන්. වේගයෙන් වෙනස්වන මාධ්‍ය ක්ෂේත්රය තුළ දියුණු වීමට අවශ්‍ය අති නවීන ඩිජිටල් තාක්ෂණ කුසළතාවයෙන්ගෙන්, ප්‍රායෝගික අත්දැකීම් සහ තාක්ෂණික විශේෂඥතාවයෙන් සිසුන් සන්නද්ධ කිරීමට මෙම ITN MMC Campus ආයතනය කැපවී සිටිනවා.
සාම්ප්‍රදායික මාධ්‍ය නැත්නම් Traditional media e Mainstream media තරමටම උසස් මට්ටමේ digital සහ Social මිඩියා අද අපට දකින්න ලැබෙනවා. ලෝකයේ වෙනත් රටවල වගේම ලංකාවේත් තත්වය එහෙමයි. ඉස්සර අපි කතා කළ සාම්ප්‍රදායික මාධ්‍ය වෘත්තීන් අතරට දැන් Content creator, YouTuber වගේ වෘත්තීනුත් එකතු වෙලා. මෙතැනදී අපි සලකා බලන්න ඕන වැදගත්ම කාරණයත් මේ මාධ්‍ය වල තියෙන මේ ප්රභලත්වයම තමයි. ඕන වෙන්නේ බොහොම සීමිත අවශ්‍යතා ටිකක් විතරයි. නමුත් මේවායේ ප්‍රභලත්වය නිසාම මේවා හොඳ වගේම නරක පැත්තටත් වැඩ කරන්න තියෙන අවස්ථාව වැඩියි. අපිට අපේ දරුවන්ට විධිමත් විෂයානුබද්ධ අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍යය වෙන්නේ අන්න එතනදියි..
අපේ රජය සියලු ක්ෂේත්රවල ඩිජිටල් කරණය වෙනුවෙන් ලොකු බරක් අරගෙන තියෙනවා. ඉදිරියේදී රැකියා සොයන්නන් වෙනුවට රැකියා උත්පාදනය කරන්නන් බිහි කිරීම අපේ වැඩපිළිවෙලේ මූලික අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ ඉදිරි ඉලක්ක වෙනුවෙනුයි. අපිට අරමුණක් තියෙනවා. එතැනදී ඔබේ දායකත්වය අපට ඉතාමත් වැදගත්. ඒ නිසා දැනුමින් සන්නද්ධ වුණු විද්‍යාර්ථීන්ගේ ඉදිරිය ඉතාම පැහැදිලි බව කියන්න පුළුවන්. ලෝකයත් සමග තරග කළ හැකි මට්ටමේ නිර්මාණශීලි පුරවැසියකු වුනොත් ඔබට ලැබෙන අවස්ථාවන් අසීමිත වේවි. එවිට ඔබව ඔබේ අනාගතය වගේම රටේ අනාගතයක් ගොඩනගන්නට හැකිවේවි. රටට අවශ්‍ය එවැනි තරුණ පරපුරක් බව අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස,
රූපවාහිනී මහගෙදර ලෙස ස්වාධින රූපවාහිනිය ඩිජිටල් තාක්ෂණය සමග ඉදිරියට යන්නට පුලුවන් පිරිසක් බිහිකිරීමට කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. වසර ගණනක් අපේ රටේ ආර්ථිකය ඇතුළු අංශ ගමන් කළේ ඉතා මන්දගාමීවයි. ඒ නිසා ලෝකය සමග අරමුණු ජය ගන්න අපිට නොහැකි වුණා. රජයේ අරමුණ නව පිම්මක් තුලින් අනාගත අරමුණු ළගා කර ගැනීමයි. ජනමාධ්‍ය තුළත එකී පිම්ම වෙනුවෙන් ඩිජිටල් කරණය වීම ඉතා වැදගත්. අපේ රටෙි පුරවැසියන්ට ලෝකය සමග සම්බන්ධ වෙන්න ඩිජිටල් තාක්ෂණය පිලිබඳ දැනුම ඉතාම වැදගත්.
