ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බවත්, එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්ලවපිටිය, ඉබ්බාගමුව, ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා අද (09) පස්වරුවේ රිදීගම, දොඩම්ගස්ලන්ද යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.
ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරේ.
ව්‍යසනයෙන් පසු රටත්, ජන ජීවිතයත් ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් පැවසුවද, මේ වන විට විනාශ වූ සියලු මාර්ග ජනතාවට යළි විවෘත කරමින් සන්නිවේදනය, විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථාවත් කර යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ වේගවත් කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා විශේෂයෙන් එහිදී රාජ්‍ය නිලධාරීන් දිවා රැ නොබලා ඉටු කළ කාර්යභාරය අගයන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය රටත්, ජනතාවත් වෙනුවෙන් සිදු කරන කැපවීම එම ව්‍යසනය හමුවේ ඔප්පු කර තිබෙන බවත් සඳහන් කළේය.
ආපදාවෙන් විපතට පත් ජනතාවට නිවාස ඉදිකර දීම වෙනුවෙන් පූජ්‍ය ඉගුරුවත්තේ ධර්මකීර්ති ශ්‍රී සෝභිත විමලජෝත්‍යාධාන ස්වාමීන් වහන්සේ විසින් සහ රිදීගම ඩී.පී. අබේරත්න මහතා සහ එම මැතිණිය විසින් සිදු කළ ඉඩම් හා මූල්‍ය පරිත්‍යාගද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
අපි මුහුණ දුන්නේ මෑතකාලීන විශාලතම ව්‍යසනයකටයි. එහිදී බොහෝ අය කිව්වා ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වෙයි කියලා. හැබැයි මේ වන විට ආපදාවෙන් විනාශ වූ සියලු මාවත් අපි විවෘත කර තිබෙනවා. සන්නිවේදනය, විදුලිබලය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ දේශපාලන අධිකාරියත්, විශේෂයෙන් රාජ්‍ය නිලධාරිනුත් විශාල වෙහෙසක් දරා කටයුතු කළා. අපි දන්නවා මේ රටේ ජනතාව තුළ අපේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබද තිබෙන්නේ හොඳ අදහසක් නොවෙයි. හැබැයි මේ දිට්වා සුළි කුණාටුවේදී අපේ රාජ්‍ය නිලධාරින් කොපමණ රට සහ ජනතාව වෙනුවෙන් වැඩ කරනවාද කියා ඔප්පු කළා. බොහෝ නිලධාරී මහත්ම මහත්මීන් දිවා රෑ නොබලා වැඩ කළා. ඒ වගේම ජනතාව ඒ සඳහා ස්වේච්ඡාවෙන් මැදිහත් වුණා. එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අපි සැලකිය යුතු ප්‍රමාණයකින් යථාවත් වී තිබෙනවා.
නමුත් මේ ව්‍යසනය අපේ ආර්ථිකයට යම් බලපෑමක් ඇති කරනවා. මෙහි සිටින අපි කවුරුත් දන්නවා මීට පෙර අපේ රටේ ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අර්බුදයේ ප්‍රතිවිපාකවලට අපි සියලුදෙනා මුහුණ දුන්නා. විදුලිය, ඉන්ධන, ගෑස්, කිරි පිටි ආදිය නැති වුණා. මුළු රටම කඩා වැටෙන තැනට පරිවර්තනය වුණා. එවැනි ආර්ථික අර්බුදයක් නිර්මාණය වුයේ ස්වභාවික ව්‍යසනයක් මත නොවෙයි. ඒ වගේම එවැනි ආර්ථික කඩා වැටීමක් සිදු වුණේ ගම්වල ජීවත්වන අපේ අම්මලා, තාත්තලාගේ වැරුද්දකින් නොවෙයි. පැවති දේශපාලන අධිකාරිය පුරා පැතිරි තිබු දූෂණය, අල්ලස, අක්‍රමිකතාව සහ වැරදි තීන්දු ගැනීම ආදී කරුණු මත අපේ රටේ ජනතාව විශාල පීඩනයකට මුහුණ දුන්නා.
එවැනි අවස්ථාවක තමයි අපිට මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට සිදු වුණේ. නමුත් එම ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැගීමේ ශක්තිය අපිට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වසරේදී වියදම් කිරීමට අපි කෝටි 50,000ක් වෙන් කර තිබෙනවා. ඒ හයිය ලැබෙන්නේ ආර්ථිකය ශක්තිමත් කරගත්තොත් පමණයි.
අපේ ගම්වල ජනතාවගේ ජන ජීවිතය මීට වඩා උසස්විය යුතුයි. මම දන්නවා නිසි ආහාර වේලක රස නොලැබූ ජනතාවක් සිටිනවා. පරම්පරාවටම හොඳ නිවසක් නැති වූ ජනතාවක් සිටිනවා. අපේ රටේ ජනතාව එසේ ජීවත්විය යුතු නැහැ. වසර 70-80ක් වැනි ජීවිත කාලය තුළ සියලුදෙනාටම මිනිසෙක් ලෙස ජීවත්වී ජීවිතයෙන් සමුගත හැකි රටක් අපි ගොඩනැඟිය යුතුයි. ඒ නිසා අපි ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව මේ ආර්ථිකයක්, ජනතාවත් බලා ගන්නා රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවී සිටිනවා. අපි එය සිදුකළ යුතුයි. අපි එය ඉටු නොකළහොත් කිසිදිනක කිසිවෙකු එය ඉටු කරන්නේ නැහැ. එය කරනවා නම් පසුගිය වසර 76 තුළ කිරීමට හැකිව තිබුණා. නමුත් එය සිදු වුණේ නැහැ. මේ රටේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් තිබෙනවා නම් ඒ මේ ආණ්ඩුව පමණයි. ඒ නිසා තමයි ව්‍යසනය හමුවේ ජන ජීවිතය යළි ගොඩනැගීම වෙනුවෙන් කෝටි 50,000ක් වෙන් කළේ. එවන් විශාල මුදලක් කිසිදිනක වෙන් කළේ නැහැ.
