නිමල් රාජපක්ෂ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (06) කොළඹ අගරදගුරු මැදුරේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත විය.
මේ වන විට රටේ පුළුල් සමාජ අවධානයට හා කතිකාවට ලක්ව ඇති අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්රයේ වත්මන් කටයුතු සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කිරීම මෙන්ම මීට අදාළව සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කරන බැවින් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු පැහැදිලි කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදි මෙම ක්ෂේත්රයන්හි පවතින වත්මන් අභියෝගවලට විසඳුම් ලබාදීම, අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ජනතාවට ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටු කිරීම අරමුණු කරගෙන රජය මේ වන විට ගෙන ඇති සාධනීය පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරුන් දෙපල විසින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන ලදී.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දුෂණ විරෝධි පනත සංශෝදනය පිළිබඳ අදහස් දක්වමින් මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ජනතාවට ඕනෑම වෙලාවක දැනගත හැකි බවත්, ඒ සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කරන බවත් එම අයිතියට කිසිදු බාධාවක් සිදුවන ආකාරයෙන් කටයුතු නොකරන බව ද පැවසීය.
රජයේ නිලධාරීන්ගේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම තුළ එම පිරිසට රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික සේවයේ යෙදීමේ දී පෞද්ගලිකත්වයට හානි විය හැකි යම් යම් දේ සිදුවිය හැකි බව ද එබැවින් එම ක්ෂේත්රවල පමණක් මෙම සංශෝධන සිදුවන බව ද අමාත්‍යවරයා පැවසීය.
ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ඊට කාලයක් අවශ්‍ය බවත්, පාර්ලිමේන්තුව සහ ඉන් පිටත ජනතාව තුළ විශාල සංවාදයක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා පැවසීය.
ව්‍යවස්ථා සංශෝධනයකට පෙර ආර්ථිකය ශක්තිමත් කිරීම, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම, නිතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වැනි රටේ ගැටළු රැසක් විසදීමට ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා සියලු මැතිවරණ නියමිත කාලයේ පැවැත්වීම රජයේ අරමුණ බවත්, පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම ට අපේක්ෂා කරන බව ද පැවසී ය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහි දී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අදහස් දක්වන ලදි.
