Spread the love

රේගුවට වංචා කර තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 03ක් වාරියපොල – බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද බුද්ධි තොරතුරක් මත වාරියපොල, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ නිවසක් පොලිසිය පරීක්ෂා කරතිබේ.

එහිදී ශ්‍රී ලංකා රේගුවට තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරු පැදි 03 ක් එම නිවස තුළ සඟවා තිබියදී සොයා ගෙන ඇත.

ඊට අමතරව නීති විරෝධීව ආනයනය කර එකලස් කිරීමට සුදානම් කර තිබු තවත් යතුරුපැදියක කොටස් ද අදාළ නිවසේ තිබී හමු විය.

එක් යතුරු පැදියක් ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හා යතුරුපැදි වාරියපොල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඒවා යම් අපරාධයක් සඳහා භාවිත කර ඇද්දැයි සෙවීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.