Spread the love

ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළතලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවැසීය.

ආනයනය කරන ලද වාහන වලින් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, ආනයනයට අදාළ අවසරය අත්හිටුවන බවද එහි නිලධාරීහු පැවැසූහ.

එසේම නිසි කාලය තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා 3% සිට 45%ක උපරිමයක් දක්වා දඩ මුදලකටද යටත් බව ඔවුන් පෙන්වා දෙයි.
රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කොන්දේසි යටතේ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීහු ඒ අනුව පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවැසූහ.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යවත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින් වාහන ආනයනය සම්බන්ධයෙන් මෙම කොන්දේසි පනවා ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

එසේම පෞද්ගලික මට්ටමින් වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකි බවත් ව්‍යාපාරයකට එවැනි කොන්දේසියක් නොමැති බවත් ප්‍රකාශ විය.

ශ්‍රී ලංකාවේ දේශීය විදුලි වාහන කර්මාන්තය ආරක්ෂා කිරීමට ප්‍රතිපත්තිමය සහාය ලබාදීමට වන ඉල්ලීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. දේශීය විදුලි වාහන නිෂ්පාදකයන් සඳහා යෝජිත රේගු ආනයන බදු සහ අධිභාරයෙන් නිදහස් කිරීම සම්බන්ධව ඉදිරියේදී සාධනීය ලෙස සලකා බැලිය හැකි බව නිලධාරීහු ප්‍රකාශ කළහ.

2012 අංක 12 දරන මුදල් පනත යටතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝගයද කමිටුව විසින් සැලකිල්ලට ගෙන අනුමත කරන ලදී. නිශ්චිත කොන්දේසිවලට යටත්ව 2025 පෙබරවාරි 21 වැනි දින දක්වා මාස 3ක කාලයක් ඇතුළත LAUGFS ගෑස් ආයතනය හරහා එල්.ජී. ගෑස් මෙට්‍රික් ටොන් 9,000 ක් දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කරන ලදී.