Spread the love

දේවින්ද පිණිදිය

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩ පිළිවෙල යටතේ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පුක්කුලම් ධීවර ගම්මානයේ ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීම සිදුකෙරුණු අතර, නයාරු කලපුව ඔස්සේ ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම යටතේ පුද්ගලයින් හාරසිය පනහක් (450) සහ යතුරුපැදි තිස්තුනක් (33) 2025 දෙසැම්බර් 09 වැනි දින ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, අයහපත් කාලගුණික තත්වය හමුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරු කලපුව ඔස්සේ ඇති පාලම් කැඩී යාමෙන්, 2025 දෙසැම්බර් 01 දින සිට නයාරු සහ කෝකිලායි අතර මහජනතාව ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව ඩිංගි යාත්‍රා අටක් (08) යොදවා ඇති අතර, මේ දක්වා පුද්ගලයන් 2377ක් සහ යතුරු පැදි 175ක් ප්‍රවාහනය කර ඇත.

එමෙන්ම, ජල ගැලීම් හේතුවෙන් භාවිතයට ගැනීමට නොහැකිව තිබූ පානීය ජල ළිං 438 ක් පිරිසිදු කර ජනතාවගේ පරිහරණය වෙනුවෙන් ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇති අතර, ජල ගැලීම් හේතුවෙන් හානියට පත් පාසල් ඇතුළු පොදු ස්ථාන සහ නිවාස පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වේ.