නිමල් රාජපක්ෂ –
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ඊයේ ( 10) අඛණ්ඩ ආපදා සහන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා හලාවත ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථාන පරිශ්‍රයේ පදිංචි පවුල් කිහිපයක් ද හමු වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය සංචාරය තවදුරටත් දීර්ඝ කරමින්, ජපන් ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයින් සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිතයින් හමුවී, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී ජාතිය වෙනුවෙන් ඔවුන් දැක්වූ වටිනා දායකත්වය අගය කළේය. ශ්‍රී ලංකාවට ඔවුන්ගේ කඩිනම් සහය සහ අඛණ්ඩ සහයෝගය සඳහා ඔහු සිය කෘතඥතාව පළ කළේය.
මීට අමතරව, මෑත කාලීන ව්‍යසනය හේතුවෙන් කඩා වැටුණු හලාවත-තොඩුවාව මාර්ගයේ තොඩුවාව පාලම යුද හමුදා ප්‍රධානියා විසින් පරීක්ෂා කරන ලදී. ඉන්දීය හමුදාව විසින් පරිත්‍යාග කරන ලද මෙම පාලම ශ්‍රී ලංකා හමුදාවේ සහාය ඇතිව ප්‍රවාහනය කර මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) නිල වශයෙන් භාර දෙන ලදී.
ගංවතුරෙන් හානි වූ බුජ්ජොමුව දුම්රිය ස්ථානය අසල බුජ්ජොමුව පාලම නැරඹීමට ගිය ඔහු, සිදුවෙමින් පවතින අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය කළේය. හමුදා නිලධාරීන්ගේ කැපවීමෙන් තාවකාලික තනි මංතීරු මාර්ගයක් ඉදිකර ඇත.
