නිමල් රාජපක්ෂ –
ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතිත්වයෙන් අද (30) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්විය.
එහිදී රාජ්‍ය ආයතන මගින් ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සැපයීමේදී ප්‍රමුඛතාව ලබා දීම සඳහා විශේෂ කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කෙරිණි. ඒ අනුව, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය. තවද, දැනට සැලසුම් කර ඇති ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධිතභාවය පිළිබඳ වර්ගීකරණය චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට සභාවේ එකඟතාව පළ විය.
එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් භාවිත කළ හැකි පාරිභාෂික වචන මාලාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්රකාශනයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කෙරිණි. ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන පුද්ගලයන් ඇගයීමට අදාළ නිර්ණායක සකස් කර අවසන් කිරීමට ද සභාව එකඟ විය.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, අධ්යක්ෂ සමාජ සේවා දර්ශනී කරුණාරත්න මහත්මිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජයමාලි වික්‍රාමාරච්චි මහත්මිය ඇතුළු මහ සභාවේ සාමාජිකයෝ සහභාගී වූහ.
