Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී කොළඹ කුරියර් ආයතනයකට එවා තිබූ සැකසහිත පාර්සලයක තිබී රුපියල් මිලියන 13කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්සොයාගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ අදාළ පාර්සලය එහි සැකකරු ඉදිරියේදී විවෘත කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65ක් සහ දියර ආකාරයෙන් සකස් කළ කොකේන් මත්ද්‍රව්‍ය මිලිලීටර් 500 තිබී සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

සැකකරු 23න් හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාවක නිරත අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාරදී ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ මෙම කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස කුරියර් ආයතනයකින් හමුවූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසය.