Spread the love

නිමල් රාජපක්ෂ

අඹතලේ ජල පාලන වේල්ලේ දීර්ඝ කාලීනව පැවති ජල කාන්දු තත්ත්වයට ස්ථිර විසඳුම් ලබාදෙමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණ. කැලණි ගඟේ ජල ධාරිතාව අධික වීමත් සමඟ නිරන්තරයෙන් ඇතිවන ජල කාන්දුවට විසඳුම් ලබා දීම සඳහා තිරසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ භූ විද්‍යාත්මක වාර්ථා පදනම් කර ගනිමින් ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් (SLLDC) ජල තෙරපුම⁣ට දරාගත හැකි පරිදි වේල්ල ආරක්ෂිත කෙරේ.

මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 41 කි. ව්‍යාපෘති කාලය මාස හතරකි.

ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමට ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා එහි ක්ෂේත්‍ර පරීක්ෂාවකට අද එක්විය.

නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ ජල කාන්දු ප්‍රදේශයේ ආරක්ෂාවට මීටර් 40 ක් දිගැති කොන්ක්‍රීට් බැම්මක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. වර්ෂාවෙන්,ජල ගැලීම් සහ මිනිස් ක්‍රියාකාරකම් වලින් සිදුවන පාංශු ඛාදනය වලකා අලුතෙන් කාණු පද්ධතියක් මගින් ජල බස්නා ක්‍රියාවලිය විධිමත් කරනු ඇත.ප්‍රතිසංස්කරණ සිදු කරණ කඩුවෙල වැලිවිට වැලිපිල්ලෑව ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් කිරීමත් ඉදිරි ආපදා තත්ත්වයකදී දරාගත හැකි ලෙස ප්‍රමිතිගත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලෙස නිරීක්ෂණ කටයුතු අවසානයේ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිරතුරු ජල ගැලීමෙන් පීඩාවට පත් ජනතාව සහ ආරක්ෂාව අවධානමට පත්ව සිටින එහි පදිංචිකරුවන් සමග අදහස් හුවමාරු කරගැනීමක්ද මෙම ක්ෂේත්‍ර පරීක්ෂාව අවසානයේ අමාත්‍යවරයා සිදු කෙරිණ.