Spread the love

නිමල් රාජපක්ෂ-

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13)  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ එක් එක් අංශ විසින් සහ ඒ යටතේ පවතින ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව විමසා බැලිණි.

දඹුල්ල, ඉංගිරිය, වාලච්චේන, මිල්ලනිය සහ කටුනායක ආදී ප්‍රදේශවල කර්මාන්ත කලාප ඇති කිරීමේ වැඩපිළිවෙළෙහි වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර ඉඩම් වෙන් කර ගැනීම මෙන්ම විදුලිය, ජලය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයේදී මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සාකච්ඡා විය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ වන විට ආරම්භ කර ඇති සියලු ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කිරීමට උපරිමයෙන් කැප වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ රජයේ කාර්යභාරය සහ සීමාවන් නිසි ලෙස හඳුනා ගැනීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනයට අදාළව පවතින වත්මන් තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර සීනි සහ ලුණු කර්මාන්ත ආශ්‍රිතව  මතුව ඇති ගැටලු සහ ඊට අදාළ විකල්ප යෝජනාද සාකච්ඡාවට ලක් විය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානයට ලක් කෙරුණු අතර,  එක් එක් කාලවලදී විවිධ අවශ්‍යතා අනුව විශාල ආයතන ආරම්භ කර අවසානයේ එම ආයතන ජනතා බදු මුදලින් නඩත්තු වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ආයතන ඒකාබද්ධ කිරීමේදී අදාළ ආයතනයවල කාර්යක්ෂමතාව වැඩි කිරීම මෙන්ම ඒවා පවත්වාගෙන යාම වෙනුවෙන් ඊට පෙර දරන ලද වියදම සහ ඒකාබද්ධ කිරීමෙන් පසු දරන වියදම අතර සාපේක්ෂ අඩු වීමක් සිදු විය යුතු බව පෙන්වා දුන්නේය.

ව්‍යවසායකත්ව සහ කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA – Entrepreneurship and Industry Transformation Authority) පිහිටුවීමට අදාළ යෝජනාව සහ ඒ යටතේ යෝජිත වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී නිලධාරිහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.

අපනයනකරුවන් සහ කර්මාන්තකරුවන් ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, අපනයනකරුවන් සහ කර්මාන්තකරුවන් දිරි ගැන්වීම වෙනුවෙන් ලබා දිය යුතු පොදු සහන පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

කර්මාන්ත අංශයේ ක්ෂේත්‍ර කිහිපයක් තෝරාගෙන එම ක්ෂේත්‍ර සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සලසාදීම මගින් අපේ රටට අනන්‍ය වූ නිපුණතාවක් ගොඩනගා ගත හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.