Spread the love

නිමල් රාජපක්ෂ

” පොහොසත් මෙන්ම ලස්සන ජීවිතයක් ගොඩනගන්න, ජනතාව විසින් බිහිකරගත් ආණ්ඩුවට මේ වනවිට වසරක් ගෙවී ගොස් තිබෙනවා. ලස්සන ජීවිතයක් ගොඩනගන්න නම්, අනෙකුත් ලස්සන සාධක අතර ලස්සන මිනිසුන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ හිත ලස්සන මිනිසුන්. මනුස්සකමෙන් පොහොසත්, පොදු ස්ථාන රැකගැනීමට කැපවෙන මිනිසුන් නොසිටියොත්, අපි විසින් ගොඩනගන මේ ලස්සන පරිසරයට හානි විය හැකියි. මිනිසාගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට නම්, මිනිසා ජීවත්වන වටපිටාව මෙන්ම නායකත්වය විසින් ලබාදෙන ආදර්ශය වඩාත් වැදගත් වනවා. ඒ අයුරින් සලකා බලනවිට, ලස්සන පරිසරයක් ගොඩනැගීම සාමූහික වගකීමක්. මේ රටේ ජනතාව ලබාදුන් අලුත් ජනවරමක් තිබෙනවා. ඒ ජනවරමට අනුව රට පොහොසත් කරනවා මෙන්ම ලස්සන කිරීමටත් වගකීමක් තිබෙනවා. අලුතින් ගොඩනගනවා මෙන්ම, තිබෙන කැත අයින් කළ යුතුයි. මේ වනවිට අධිකරණ ක්ෂේත්‍රයේ පවතින් ඒ කැත අයින් කරමින් සිටිනවා. රටේ ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා අපට මේ මාතෘභූමියේ සිහින ගමනාන්තය දක්වා යා හැකි බවට. ජනතාව විසින් අප කෙරෙහි තැබූ ඒ විශ්වාසය රකිමින්, ඔවුනු ප්‍රාර්ථනා කල ඒ වෙනස ඔවුන්ට ලඟාකරදීමට, ජනතාව ලබාදුන් ජනවරම තුළින් කැපවී කටයුතු කරනවා “යැයි ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලද්දේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙහි මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය මත ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලද, “සිහින ගමනාන්තය” ව්‍යාපෘතිය යටතේ, ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමට යෝජිත මහනුවර දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙහි මූලික හරය වන රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා පොදු මහජනතාවගේ සහභාගීත්වය මනා ලෙස හුවා දක්වමින් මෙම වැඩසටහන සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සමඟ ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ පෞද්ගලික අංශයේ සහභාගීත්වය මත හා එම අනුග්‍රහයෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස NIO Engineering සංවිධානය, “ක්ලීන් මරදාන” වැනි විවිධ සංවිධාන හා මහජන සහයෝගයද සහිතව දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇත.

වේගවත්, විශ්වසනීය, සුවපහසු දුම්රිය සේවාවක් ගොඩනැගීමෙහි ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙහි මඟ පෙන්වීම හා සම්බන්ධීකරණය මත ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව “සිහින ගමනාන්තය” (Dream Destination) නමින් පසුගියදා පුළුල් වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන සුපිරිසිදු, ආකර්ශනීය දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම සඳහා නව්‍යකරණය තුලින් දුම්රිය ස්ථාන නවීකරණය කිරීමය.

මේ යටතේ තල්පේ, මරදාන, හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන නවීකරණ වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙම වැඩසටහනේ සුවිශේෂී පියවරක් ලෙස මහනුවර දුම්රිය ස්ථානය නවීකරණය කර අලංකාර කිරීමේ ව්‍යාපෘතිය මෙසේ ආරම්භ විය.