ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. එසේම මේ වන විටත් ගැසට් කර තිබෙන කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු ජාතික කාන්තා කොමිසම පිහිටුවීමට අවස්ථාව හිමි වන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ අනුව එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කළා. එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි.
”කාන්තාවන් සවිබලගැන්වීමේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය ද පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවක් සිදුකළා. ඒ සඳහා ජනාධිපති කාර්යාලය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකරුවන් රාශියක්ම සහභාගී වී සිටියා. කාන්තාවන් සවිබලගැන්වීමේ පනත් කෙටුම්පත පිළිබඳව ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළා. එහිදී සතියක් තුළ එම නිරීක්ෂණ පිළිබඳ සලකා බැලීමටත් ඉන් පසුව තවදුරටත් අවශ්‍ය සංශෝධන ඇත්නම් පනත් කෙටුම්පත නැවත ගැසට් කර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසඳය තීරණය කළා. ”