Spread the love

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කළාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.