Spread the love

නිමල් රාජපක්ෂ-

කුවෙට් අරමුදලින් රටවිරු විශ්‍රාම වැටුපට රු. බිලියන 2.1ක්; ඉදිරියේදී විගමණිකයන් සදහා වූ ප්‍රේෂණ වාර්තාව ලබාගැනීමට ඩිජිටල් අමාත්‍යාංශය හා එක්ව විශේෂිත යෙදවුමක් හදුන්වාදීමේ වැඩපිළිවෙළක් – නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රශ්‍රී ලංකා ජාතික ආර්ථිකයේ ප්‍රධානතම ජීවනාලිය බඳු වූ විදේශගත ශ්‍රමිකයන් උදෙසා වඩාත් විධිමත් සහ ආකර්ෂණීය නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කඩිනමින් සකස් කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

​දැනට ලක්ෂ 17ක පමණ පිරිසක් විදේශ රැකියාවල නිරත වන අතර, 2025 වසරේදී මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වී ඇතත්, වත්මන් විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ලියාපදිංචි වී ඇත්තේ ශ්‍රමිකයන් 307 දෙනෙකු වැනි අවම පිරිසක් පමණි. පවතින ක්‍රමවේදයේ ඇති ප්‍රතිලාභයන්හි ස්වභාවය හඳුනාගෙන ඊට පිළියම් ලෙස මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

​මෙහිදී සියලුම ශ්‍රමිකයන්ට එකම ආකාරයේ ක්‍රමවේදයක් වෙනුවට, ඔවුන්ගේ සේවා කාලය සහ ආදායම් මට්ටම් අනුව තෝරාගත හැකි නම්‍යශීලී විකල්ප සකස් කෙරේ. ඒ අනුව සේවා කාලය අවසානයේ මාසික විශ්‍රාම වැටුපක් ලෙස හෝ කල් පිරුණු පසු එකවර ලැබෙන ස්ථාවර මුදලක් ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රමිකයාට නිදහස හිමිවේ. කුවෙට් අරමුදලින් රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමවේද සදහා රු. බිලියන 2.1ක් වෙන් කර ඇති අතර, 2026 දෙසැම්බර් 31 වැනිදාට පෙර මෙහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට රජය බැඳී සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

​තාක්ෂණික පරිවර්තනයක් සමඟින් විදේශගත ශ්‍රමිකයන් මෙරටට නීත්‍යානුකූලව එවන ප්‍රේෂණ නිවැරදිව වාර්තා කරගැනීම සඳහා ඉදිරියේදී විගමණිකයන් සදහා වූ ප්‍රේෂණ වාර්තාව ලබාගැනීමට ඩිජිටල් අමාත්‍යාංශය හා එක්ව විශේෂිත යෙදවුමක් හදුන්වාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇත. මේ හරහා සෑම ශ්‍රමිකයෙකුටම තමන් එවූ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳ නිල වාර්තාවක් (Remittance Report) පහසුවෙන් ලබා ගත හැකි අතර, එම දත්ත පදනම් කරගෙන ඔවුන්ට හිමිවන විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය විනිවිදභාවයකින් යුතුව තීරණය කරනු ලබත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

​මෙම සමස්ත සුබසාධන වැඩපිළිවෙළ ශ්‍රමිකයාගේ ස්වේච්ඡා කැමැත්ත මත පමණක් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිරි කාලය තුළ මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.