Spread the love

                                                                                                                                     

නිමල් රාජපක්ෂ-

කෘෂිකර්මාන්තයේ අනාගතය පරිවර්තනය කිරීමට නම් අප විද්‍යා හා තාක්ෂණ දැනුම භාවිත කරන ආකාරය මුල සිටම වෙනස් කරගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම පීඨය විසින් සංවිධාන කරන ලද කෘෂිකර්මය සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ (ISAE – 2026) සමාරම්භක අවස්ථාවට  ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින් ඹහු මේ බව ප්‍රකාශ කළේය. 

දත්ත මත පදනම් වූ හරිත කෘෂිකර්ම සංක්‍රාන්තිය: සෞඛ්‍ය සම්පන්න පසක සිට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් කරා (Data -Driven Green  Agriculture Transitions: From Healthy Soils to Healthy People) තේමා කරගනිමින්  ඊයේ දින (02) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සම්මන්ත්‍රණය ආරම්භ කෙරිණි

මෙය කෘෂිකර්මාන්තය සහ පාරිසරික තිරසාරභාවය අතර පවතින තීරණාත්මක ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ පාර්ශවකරුවන් එක්රැස් කරන ප්‍රමුඛතම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකි.

කෘෂිකර්මාන්තය සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ තීරණාත්මක අභියෝග විසඳීමේ ජාතික උත්ප්‍රේරකයක් ලෙස මෙම සම්මන්ත්‍රණය (ISAE) හඳුන්වා දිය හැකිය. විද්‍යාව, ප්‍රතිපත්ති, කර්මාන්ත සහ සමාජය එකිනෙක සම්බන්ධ කරන ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ සංවාදයක්  මෙම සම්මන්ත්‍රණය තුළ සිදු කෙරේ. එය දැනුම හුවමාරු කර ගැනීම, සහයෝගිතා පර්යේෂණ සහ නවෝත්පාදනාත්මක විසඳුම් සඳහා වන සක්‍රීය වේදිකාවක් සපයයි.

මෙහි දී අදහස් දැක් වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙසේ පැවසීය

“ශ්‍රී ලංකා  කෘෂිකර්මාන්තයේ අනාගතය පරිවර්තනය කිරීමට නම් අප විද්‍යා හා තාක්ෂණ දැනුම භාවිත කරන ආකාරය මුල සිටම වෙනස් කරගත යුතුයි. එම පරිවර්තනය කිරීමේදී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු බව මම දැඩි ලෙස විශ්වාස කරනවා.

දුරස්ථ සංවේදනය (remote sensing), චන්ද්‍රිකා තාක්ෂණය, අන්තර්ජාල ද්‍රව්‍ය (IoT) සංවේදක, කෘතිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් ඹස්සේ දත්ත මත පදනම් ව අපේ කෘෂිකර්මාන්තයේ විශාල පෙරළියක් සිදු කරමින් තිබෙනවා. තිරසාර කෘෂිකර්මාන්තයේ පදනම සෞඛ්‍ය සම්පන්න පස යි. පස යනු ආහාර නිෂ්පාදනයට  මෙන්ම අතිශය වැදගත් කාරයයන් රැසකට පදනම සපයන ජීවමාන පරිසර පද්ධතියක්. වගකීමෙන් කටයුතු කර පස්වල සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීම මඟින් කෘෂිකාර්මික පරිසර පද්ධතියක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කළ හැකියි.

ඒ සඳහා අවශ්‍ය දැනුම, මානව සම්පත සහ විද්‍යාත්මක ධාරිතාව ශ්‍රී ලංකාව සතුව තිබේ. ඒ සඳහා විද්‍යාව ප්‍රතිපත්ති සමඟත්, තාක්ෂණය ගොවීන් සමඟත්. පර්යේෂණ සැබෑ ලෝකයේ විසඳුම් සමඟත් කෘෂිකාර්මික සංවර්ධනය පාරිසරික තිරසාරභාවය සමඟත් සම්බන්ධ කරමු.”

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය නෙදර්ලන්ත ජාතික පාංශු සහ සංවේදක විශේෂඥයෙක් වන ආචාර්ය මැතියෝ පොගියෝ (Dr. Matteo Poggio) මහතා විසින් More Food, Fewer Resources – What sensors are teaching us. තේමා කර ගනිමින් පැවැත්වීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රූත් බෙයාර්ඩ් (Ruth Baird), විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය වසන්ත කුමාර, රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පී.ඒ.ජයන්ත, , කෘෂිකර්ම පීඨාධිපති මහාචාර්ය ජී.වයි.ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් විද්වතුන්, උපාධි අපේක්ෂකයින් ඇතුළු විශා පිරිසක් එක්ව සිටියහ.