Spread the love

නිමල් රාජපක්ෂ-

ලෝකයේ රටවල් රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් වෙත ලබාදීම සඳහා රජයට අනුබද්ධිත එකම රැකියා නියෝජිතායතනය වන ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් නව වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඒ අනුව මැදපෙරදිග, ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා රැසක් සඳහා බඳවාගැනීම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකළේය.

මේ යටතේ ඉදිකිරීම්, කාර්මික හා නිපුණතා රැකියා, සෞඛ්‍ය සේවා, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු, ප්‍රවාහන, කෘෂිකර්ම, ඇගළුම් නිශ්පාදන හා වෘත්තිය සේවා ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර ඉතාමත් අවම මිළ ගණන් යටතේ මෙම රැකියා සදහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන බවද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් ලබාදෙන ජපන් රැකියා අතුරින් ට්‍රක් රථ රියදුරු රැකියා සඳහා පාසැල් හැර ගිය තරුණයින්ටද අයදුම් කිරීමට අවස්ථාව හිමිවන අතර, ඔවුන්ට ජපන් භාෂා ප්‍රවීණතාව තිබීමත් අවශ්‍ය වන බව පැවසූ ඒ මහතා අයදුම් කිරීම හා වැඩි විස්තර ලබාගැනීම සඳහා  www.slfea.lk යන වෙබ් අඩවියට පිවිසෙන ලෙස රැකියා අපේක්ෂිතයින් වෙත දන්වා සිටියේය.

මෙම රැකියා අවස්ථා සඳහා පුහුණු, අර්ධ පුහුණු හා වෘත්තිය ශ්‍රමිකයින් බදවාගැනීමට බලාපොරොත්තු වන අතර, ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොල තුළ ශ්‍රි ලංකාවේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට හා නිපුණතා සහිත ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ රැකියා අවස්ථා සඳහා යොමුකිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම රැකියා අවස්ථා හඳුන්වාදීමට තම ආයතනය පියවර ගෙන තිබෙන බවද සඳහන් කළේය.

මීට අමතරව විදේශ රැකියා නියෝජිතායතනය විසින් ගුවන් ටිකට්පත් අලෙවිකිරීමේ මධ්‍යස්ථානයක්ද ආරම්භ කර ඇති බවත්, එමගින් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට වෙළඳපොලේ පවතින මිළට වඩා අඩු මුදලකට ගුවන් ටිකට්පත් මිළදී ගැනීමටද අවස්ථාව සලසා ඇති බවත් හෙට්ටිආරච්චි මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.