නිමල් රාජපක්ෂ
රටේ පොදු ප්‍රවාහන සේවාව සුරක්ෂිත කරමින් මගී ජනතාවට විධිමත්, කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ තිරසර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යතාර්ථයක් බවට පත්කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද දින (.09) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මෙහි සමාරම්භය සිදුවිය
.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යපෘති කළමනාකරණ ඒකකයේ සැලසුම්කරණයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියාත්මක කිරීම සිදුකෙරේ.
මේ යටතේ මගී ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් සපයන නව තෙමහල් ගොඩනැගිල්ලත් ඉදි කිරීමට යෝජිතය. එම සේවා ගොඩනැගිල්ල තුළ නවාතැන් පහසුකම්, විවේකාගාර, ප්‍රමිතිගත භෝජනාගාර, සනීපාරක්ෂක පද්ධති, තොරතුරු මධ්‍යස්ථානයක්, ඖෂධහලක් සහ තැපැල් සේවා මධ්‍යස්ථානයක් ඇතුළු ජනතාවට දෛනිකව අවශ්‍ය සේවාවන් සිදුකරගත හැකි අංගවලින් යුක්ත වේ.
දුම්රිය ස්ථානය අභ්‍යන්තරයේ ස්ථාපිතව පවතින ඉපැරණි මගී යකඩ ගුවන් පාලම් පද්ධතිය අළුතින් නිර්මාණය කරන අතර, එය සියලුම දුම්රිය වේදිකාවන්ට ප්‍රවේශ විය හැකි පරිදි ඉදිකෙරේ. එහිදී එම මගී ගුවන් පාලම් එක් අන්තයක් කොම්පඤ්ඤවීදිය සහ ඩී. ආර්. විජේවර්ධන මාවත දෙසටත් අනෙක් අන්තය මරදාන සහ බැස්ටියන් මාවත දෙසටත් ප්‍රවේශ වියහැකි පරිදි ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර දුම්රිය ස්ථානයට ඇතුළුවන සහ පිටවන මගීන් සදහා නව තාක්ෂණය සහිත E-Gate පහසුකම හඳුන්වා දීමට පියවර ගැනෙනු ඇත.

මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොදු මගී රථවාහන අංගනයක් ද සැලසුම් කර ඇති අතර, ත්‍රිරෝද රථ, කුළී රථ, පෞද්ගලික වාහන ආරක්ෂිතව නවතා තැබීමට අවශ්‍ය පහසුකම් සහිතව එය ඉදිකෙරේ.
මෙම ව්‍යාපෘතිය මාස 15 ක කාලයක් ඇතුලත නිම කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සදහා වැයවන වියදම රුපියල් මිලියන 2,162 කි. එම පිරිවැය මුදලින් රුපියල් මිලියන 1,500 ක් ආසියානු සංවර්ධන බැංකු ණය වශයෙන් ලබාගන්නා අතර, ඉතිරි රුපියල් මිලියන 662 ශ්‍රී ලංකා රජයේ අරමුදල් ලෙස යොදාගැනෙනු ඇත.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් මිලියන 800 ක් වැයකර අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය සැළසුම් සකස්කර ඇති අතර එහි ඉදිකිරීම් 2027 වසරේ ආරම්භ කිරීමට අපේක්ෂිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය යන මහත්වරු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.
