Spread the love

මාලන් විතාන

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව විදහා දක්වන “Heart to Heart, Side by Side” ඡායාරූප  ප්‍රදර්ශණය චීන ආධාර (China Aid) යටතේ නිම වූ   ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිලි පරිශ්‍රයේදී අද (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් තහවුරු කරන්නා වූ සංඛේතයක් බඳු ශ්‍රී ලංකා ජාතික රෝහලේ චීන ආධාර යටතේ ඉදිකළ බාහිර රෝගී ප්‍රතිකාර අංශය තුළ මෙම ඡායාරූප ප්‍රදර්ශණය සංවිධානය කර ඇත.

මෙම ප්‍රදර්ශණයට චීනය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්ත්වයේ අවස්ථාවන් නිරූපණය කරන්නා වූ ද්විපාර්ශ්වික හුවමාරු, ශ්‍රී ලංකාවට චීනය ලබා දුන් ආධාර, චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ව්‍යාපෘති, චීන-ශ්‍රී ලංකා බහු-ක්ෂේත්‍ර සහයෝගිතාව සහ චීනයේ ජයග්‍රහණ ඇතුළත් තේමාවන් සහිත දෙරට අතර අනෝන්‍ය සහයෝගීතාවයන් ආදිය විදහා දැක්වෙන අවස්ථා නිරූපණය කරනු ලැබූ ඡායාරූප 350 කට අධික ප්‍රමාණයක් ඇතුළත්ය.

මෙහිදී පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකා ජාතික රෝහලේ චීන ආධාර යටතේ ඉදිකර ඇති නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල හේතුවෙන් රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට මෙන්ම ප්‍රතිකාර සේවා සපයන කාර්ය මණ්ඩලයට ද වඩාත් ප්‍රියතාවයක් දක්වන්නා වූ සහ පහසුකම් සහිත පරිසරයක සිට සේවාවන් ලබාගැනීමට මෙන්ම ගුණාත්මක සේවාවක් සැපයීමට ද හැකියාව ලැබී ඇති බව සඳහන් කළේය.