Spread the love

ජනාධිපති පුටුවයි ආණ්ඩු බලයයි ලැබුණු පමණින් රට හදන්න බැරි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

මේ අවුරුද්දේ තීරණාත්මක වැඩක් තිබෙනවා. මේ මැතිවරණය අපට දිනන්න විතරක් නොවෙයි. ගැහැනු අපි එකතු වෙලා මේක කොහොම හරි දිනවනවා. අපි සහෝදර සහෝදරියෝ ටිකත් පාර්ලිමේන්තුවට යවමු. අපේ අනුර සහෝදරයාව ජනාධිපතිත් කරමු. ඒක කරලා එතැනින් ඉවර වෙන්නේ නැහැ අපේ වැඩේ. අපි රට හදන්න ඕනෙ. අපි කරන්න බලාපොරොත්තු වෙන ඒ සමාජ පරිවර්තනය රැකගන්නත් අපි ඉදිරිපත් වෙන්න ඕනෙ. මේකෙ බරපතළකම, ගැඹුර අපි හොඳින් තේරුම් ගන්න ඕනෙ. මේක තවත් එක් වෙනසක් ගැන කතාවක් නොවෙයි. මේක තවත් එක් මැතිවරණයක් නොවෙයි.

මෙතෙක් කාලයක් අපේ ඡන්දෙ දීලා පැත්තකට වෙලා බලා ඉන්න සිද්ධ වුණේ. අපි වෙනුවෙන් කරන සංවර්ධන දිහා අපට බලාගෙන ඉන්න සිදුවුණේ. ඒ තීන්දු තීරණ ගන්න තැන්වල අපි නැහැ. අපට ඇහුම්කන් දෙන්නේ හෝ අදහස් විමසන්නේ හෝ නැහැ. අපි වෙනුවෙන් මේ ප්‍රතිපත්ති හැදෙන්නේ නැති බව දැන දැනත් ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපේ මුදල් වංචා කරන බව දැනගෙන, දූෂණයේ යෙදෙන බව දැනගෙන, අපේ දරුවන් බඩගින්නේ ඉන්න බව දැනගෙන, අපි හූල්ල හූල්ලා බලාගෙන සිටියා මිසක් අපට බලයක් තිබුණේ නැහැ මේවා වෙනස් කරන්න. නමුත් මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ අපි බලයට පත්වෙනවා. අපි හැමෝම පාර්ලිමේන්තුවට යනවා නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විශාල මන්ත්‍රිවරියන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා.

අපේ ඡන්දයෙන් බලයට පත්වෙලා අපව පැත්තකට දාලා යන ආණ්ඩු තමයි මෙච්චර කල් පත්වුණේ. මේ අවස්ථාවේ අපව මඟහැර යන්න බැහැ. අපව සහභාගි නොකර යන්න බැරි බව පාලකයෝ තේරුම් ගනිමින් යනවා. ඒ නිසා තමයි වෙනත් පක්ෂවල අයත් ගැහැනුන් ආමන්ත්‍රණය කරන්න වැඩසටහන් ආරම්භ කර තිබෙන්නේ. ඒක හොඳයි. නමුත් අපි දන්නවා ජාතික ජන බලවේගයේ වෙනසක් තිබෙනවා. අපි පත්කරන ආණ්ඩුවත්,

වැඩපිළිවෙළත් ආරක්ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. මෙච්චර කාලයක් මේ රටේ වරප්‍රසාද ලබාගෙන මේ රට පාලනය කිරීම තමන්ගේ උපතින් ආව අයිතියක්, උරුමයක් හැටියට හිතාගෙන හිටපු පාලකයෝ කලබල වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් පක්ෂ හැටියට වෙන් වුණාට ජාතික ජන බලවේගය පරදවන්න ඕනෙ කියන තැන ඔවුන් ඔක්කෝම එකතු වෙන්නේ.