Spread the love

.
නිමල් රාජපක්ෂ-

ජනාධිපතිවරණය සඳහා ජූලි මාසයේ දී අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත බැවින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙම වසර සඳහා සැළසුම් කළ සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (14) නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජූලි මාසය තුළ ජනාධිපතිවරණය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන නිසා දැනට සැලසුම් කර ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙස හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණය සඳහා වන ගැසට් පත්‍රය පළ කිරීමෙන් පසුව කිසිදු සංවර්ධන කටයුත්තක් ක්‍රියාත්මක කළ නොහැකියි. මේ නිසා ජූලි මාසයෙන් පසුව ජනාධිපතීවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මම මෙම වසරේ මුල සිටම මේ බව අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම්වල දී ප්‍රකාශ කළා. නමුත් තවමත් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් සම්බන්ධව සෑහීමකට පත් වෙන්නට බැහැ.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන දිස්ත්‍රික්ක 25 තුළම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
දිවයිනේ ගම්මාන 160ක් මේ සඳහා තෝරා ගෙන ඇති අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 1600කි. එක් ගමකට පළමු අදියර යටතේ රුපියල් මිලියන 10ක් වශයෙන් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහයෝගය ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.