.
නිමල් රාජපක්ෂ-
ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන් සඳහා වෙන්කර තිබූ නිල බංගලා භාවිත නොකිරීම වත්මන් රජයේ ප්‍රධාන දේශපාලන ප්‍රතිපත්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ජූලි 22) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.
එම ගොඩනැගිලි භාවිතයට නොගත්තද ඒවා විනාශයට පත් නොවී නඩත්තු කරමින් ජනතා ප්‍රයෝජනය සඳහා යොදාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව ජනාධිපති මන්දිර ඇතුළු එවැනි සියලුම ස්ථාන වාණිජමය හෝ වෙනත් මහජන ප්‍රයෝජන සඳහා භාවිතයට ගැනීමේ කටයුතු මේ වන විටත් ඉදිරියට ගෙන යමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම ඇතැම් නිල බංගලා තුළ මේ වන විට අධිකරණ කටයුතු ආරම්භ කර ඇති අතර, එමගින් රටේ අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමේ හැකියාව ලැබී ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.
තවද, අමාත්‍යවරුන් නිල නිවාස හෝ බංගලාවල පදිංචි වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රකාශ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරිය, වත්මන් අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයකු නිල නිවාසවල පදිංචි වී නොමැති බවත්, ඇතැමුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පමණක් පදිංචිව සිටින බවත් සඳහන් කළාය.
රජය ජනතාවට ලබාදුන් පොරොන්දු සැලසුම් කළ පරිදි අකුරටම ක්‍රියාත්මක වෙමින් පවතින බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, සමාජ මාධ්‍යය ඔස්සේ පළවන අසත්‍ය තොරතුරු පමණක් පදනම් කරගෙන මෙවැනි වැරදි මත පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න ලෙස මතු කිරීම සුදුසු නොවන බව ද ප්‍රකාශ කළාය.
