Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ගංවතුර හා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවන හදිසි ජල ගැලීම් පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් අද (08) ආරම්භ කෙරිණි.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර, ජල බැසයාමට බාධා පවතින ස්ථාන හඳුනාගෙන එම අවහිරතා ඉවත් කිරීම, ඇළ මාර්ග හා කාණු පද්ධති පවිත්‍ර කිරීම සහ ජලාපවහන පද්ධති යථා තත්ත්වයට පත් කිරීම මෙහි මූලික අරමුණු වේ.

කොළඹ නගර සභා බලප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාස පහක් ආවරණය වන පරිදි මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ යන මැතිවරණ කොට්ඨාසවල ජල බැසයාමට අවහිරතා පවතින ස්ථාන 60ක් මේ වනවිට හඳුනාගෙන තිබේ.

එම ස්ථාන අතරින් ජල ගැලීම් අවදානම ඉහළ සහ ජල බැසයාමට දැඩි අවහිරතා පවතින ස්ථාන සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් අද දිනයේ ක්ෂේත්‍ර පරීක්ෂණ සහ අවහිරතා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

ඒ අනුව,

  • නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත
  • බම්බලපිටිය හෙයිග් පාර
  • වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස සහ පැරකුම් පාර
  • කුරේ නාගරික නිවාස යෝජනා ක්‍රම පරිශ්‍රය
  • කිරුළපන ස්ටැෆර්ඩ් පාර සහ ඊට සමාන්තරව පිහිටි කිරුළපන ඇළ මාර්ගය
  • බේස්ලයින් ප්‍රධාන මාර්ගය ආශ්‍රිත හීන් ඇළ
  • දෙමටගොඩ ආරාම පාර
  • මැද කොළඹ නිව් බසාර් ප්‍රදේශය
  • ඩිමෙල් වත්ත සහ පැරඩයිස් පාර

ඇතුළු ස්ථාන රැසක් ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක් කරමින් ජල බැසයාමේ අවහිරතා ඉවත් කිරීම සහ ජලාපවහන පද්ධති යථාවත් කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීහු සහ සේවක කණ්ඩායම් එක්ව සිටියහ.

හදිසි අවහිරතා ඉවත් කිරීමට පමණක් සීමා නොවී, ජලාපවහන පද්ධතිවල පවතින දීර්ඝකාලීන ගැටලු හඳුනාගෙන ඒවාට තිරසර විසඳුම් ලබාදීම ද මෙම වැඩපිළිවෙළේ අරමුණකි. ඒ අනුව හඳුනාගත් ස්ථානවල අවහිරතා ඉවත් කිරීම, අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ ජලාපවහන පද්ධති නඩත්තු කිරීමේ කටයුතු අදාළ රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ සහභාගීත්වයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

පසුගිය නොවැම්බර් 06 වැනිදා පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නගරයේ ප්‍රදේශ රැසක් පැය කිහිපයක් ජලයෙන් යටවී පැවතිණි.

පිටකොටුව, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ රැසක ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වූ අතර, ජනතාවගේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑම් ඇති විය.

කොළඹ නගරයේ මෙවැනි ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීමට අධික වර්ෂාපතනයට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ පවතින ජලාපවහන ගැටලු රැසක් ද බලපා ඇත.

ජලාපවහන පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම්, අවිධිමත් නාගරික සංවර්ධන කටයුතු, ඇළ මාර්ග සහ කාණු පද්ධති අවහිර වන ආකාරයේ මිනිස් ක්‍රියාකාරකම්, අධික ජන ඝනත්වය සහ අදාළ රාජ්‍ය ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොපැවතීම එවැනි ගැටලු අතර වේ.

විශේෂයෙන්ම පසුගිය පාලන සමයන් තුළ ජලාපවහන පද්ධති නඩත්තු කිරීම, අධීක්ෂණය සහ ආයතනික සම්බන්ධීකරණය විධිමත් නොවීම හේතුවෙන් මෙම ගැටලු තවදුරටත් සංකීර්ණ වී ඇති බව හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වයට විසඳුම් ලබාදීමේදී එක් එක් ආයතනය වෙන් වෙන්ව ක්‍රියාත්මක වීම වෙනුවට, සියලු අදාළ ආයතන පොදු සැලැස්මක් යටතේ සම්බන්ධීකරණය කරමින් ජලාපවහන පද්ධති නඩත්තුව, ප්‍රතිසංස්කරණය සහ අධීක්ෂණය විධිමත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව හදිසි ජල ගැලීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමත්, කොළඹ නගරයේ ගංවතුර අවදානම දීර්ඝකාලීනව අවම කිරීම සඳහා ඒකාබද්ධ ජල කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමත් අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ.

මෙම විශේෂ වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු අධීක්ෂණය සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ද එක්ව සිටියේය.