Spread the love

දේවින්ද පිණිදිය

ජාතිවාදය ඇතිකර ඉදිරියට යන ගමන ආපස්සට ගන්න කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ අද (15) පැවති මන්නාරම් දිස්ත්‍රීක් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

ඔබ දන්නවා අපේ රජය කාන්තා නියෝජනයට වෙනසක් ගෙනාවා. සංඛ්‍යා ලේඛන අනුව ජනගහනයෙන් 52% විතර ඉන්නේ කාන්තාවන්. ඒ කියන්නේ අපේ රටේ ජනගහනයෙන් බලයක් තියන පිරිසක්. නමුත් විවිධ ක්ෂේත්‍ර ගත්තම, ජීවිතයේ මුහුණ දෙන ගැටලු ගත්තම ඒ බලය අපිට ප්‍රායෝගිකව තියනවද කියන එක ගැටලුවක්.

අපේ රටේ තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යුද්ධය, ප්‍රචණ්ඩත්වය, අපි එකිනෙකා දිහා අවිශ්වාසයෙන් බැලුවේ. ඇත්තටම අපි බෙදුණු රටක් වුණා යුද්ධය නිසා. ඒ හේතුවෙන් වැඩිපුරම ගැටලුවලට මුහුණ දුන්නේ කාන්තාවන්. අපි දන්නවා රටේ බහුතරයක් කාන්තාවන් අම්මා, තාත්තා, පුතා, දුව,සහෝදර, සහෝදරියන් නැතුව දුක් විදිනවා. මේ ප්‍රදේශයේ එහෙම දුක් විදින බොහෝ කාන්තාවන් ඉන්නවා කියලා අපි දන්නවා. යුද්ධය අවසන් වී බොහෝ කල් වුණත් ඒ සාමය හදවත් තුළ අදටත් නැහැ. තවමත් කාන්තාවන් ඉන්නවා තමන්ගේ පවුලේ අයට මොකක්ද වුණේ කියලා හොයා ගන්න බැරුව. තනියම තම පවුල රැක ගන්න මහන්සි වෙන බොහෝ කාන්තාවන් ඉන්නවා.

අපේ රජය ජාතිවාදයට එරෙහිව ලොකු සටනක් ගෙනියනවා. මේ රටේ සියලු දෙනාට ආරක්ෂිතව, සමාන අයිතීන් ඇතිව ජීවත්වෙන්න අවශ්‍ය බව අපි දන්නවා. නමුත් තාමත් ජාතිවාදී කඳවුරු උත්සාහ කරනවා එකිනෙකා අතර අසමගිය ඇති කරන්න. ඒ අයට දූෂණය නතර කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, නීතිය සමානව ක්‍රියාත්මක කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය නැහැ. ඒ අයට අවශ්‍ය බලය ලබා ගැනීම පමණයි. ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නෙමයි ඔවුන් වෙනුවෙන් පමණයි.

ඔවුන් මේ රටේ සම්පත් කොච්චර විනාශ කළාද කියලා අපි දන්නවා. 2022 විශාල ආර්ථික කඩා වැටීමකට රට මුහුණ දුන්නා. නමුත් 2025 වන විට අපේ රජයට පුලුවන් වුණා හොරකම, දුෂණය, නාස්තිය නතර කරලා ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ නිසා අපිට දිත්වා සුළිකුණාටුව ඇති වූ අවස්ථාවේ කාටවත් ණය නොවී ජනතාවට උදව් කරන්න හැකි වුණා.

පසුගියදා අවුරුදු 21කට පසු කිරි ගොවියන්ට මිල්කෝ ආයතනයේ ලාභය බෙදා දෙන්න පුළුවන් වුණා. වසරක පමණ කාලයක් තුළ ආදායම් මාර්ග වැඩි කරලා ආයතනවල නාස්තිය අවම කරලා ලාභය බෙදා දෙන්න පුළුවන් වුණා.

කඩා වැටුණු ආයතන නැවත ගොඩනගලා වංචාව, දූෂණය නතර කරලා දේශපාලකයින්ගේ නාස්තිය නතර කරලා ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. එහෙම ගොඩ නගන රට ජාතිවාදය අවුස්සලා ආපස්සට ගෙන යන්න සමහරු කටයුතු කරනවා.

ජාතිවාදයෙන් බැටකාපු ප්‍රධාන කොටසක් තමයි කාන්තාවන්. අපි ආපහු බෙදලා අසමගිය ඇති කරන්න ඉඩ දිය යුතුද? නැහැ නේද ඒකට කාන්තා නායකත්වය අවශ්‍යයි. අපි පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තා ඔබත් ඉදිරියට එන්න. අපිට කරන්න තව ගොඩාක් වැඩ තිබෙනවා. ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ.