Spread the love

නිමල් රාජපක්ෂ-


මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද මෙට්‍රො බස් රථ සේවාවට පහසුකම් සැපයීමට ඉදිකරන ලද තුන්වන ඩිපෝ අංගනය ජා-ඇල, ඒකල දී ඊයේ දින (2026.09.09) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණ. ඒ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ සහභාගිත්වයෙනි…!

මෙට්‍රො බස් ව්‍යාපෘතියේ මෙහෙයුම් හා පරිපාලන සේවා ආරම්භ කල මෙම ඒකක ඩිපෝව මූලික කර ගනිමින්, නව මෙට්‍රො බස් රථ 20 ක් ධාවනයට එක් කිරීමට නියමිතය….!

ගම්පහ දිස්ත්‍රික්කයේ ඒකල සිට කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම දක්වා දිවෙන, මෙට්‍රො බස් මාර්ගය කිලෝ මීටර් 29.9 කි. මෙට්‍රො බස් නැවතුම් 21 ක් මෙම මාර්ගයේ ස්ථාපිත කර ඇත. ඒ අනුව තලංගම, බත්තරමුල්ල හන්දිය, සෙත්සිරිපාය, NAITA, රාජගිරිය, කාසල් රෝහල, බොරැල්ල 02 YMBA, කැම්බල් පාර්ක්, දෙමටගොඩ, පෑලියගොඩ (නව කැලණි පාලම), පෑලියගොඩ 02, හේකිත්ත හන්දිය, වත්තල, හැඳල, මාබෝල, මහබාගේ, කඳාන, වැලිගම්පිටිය, ජා-ඇල, CTB Junction සහ ඒකල යන මෙට්‍රො බස් නැවතුම් ස්ථාන 21 න් මගී ජනතාවට ගමනාගමනයට එක්විය හැකිය…!

මෙට්‍රො බස් සේවාවේ නියමු ව්‍යාපෘතිය මාර්ග දෙකක ධාවන කටයුතු සමගින් ආරම්භ කෙරිණ. එම මාර්ග දෙකට අමතරව මේ වනවිට තවත් නව මෙට්‍රො මාර්ග පහක් ද හඳුන්වා දී ඇති අතර, සැප්තැම්බර් මාසයේ සිට සමස්ත මාර්ග හතක මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව කටයුතු කරනු ලබයි….!

මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු, ජා-ඇල නගර සභාවේ සභාපති රොෂාන් නෝනිස්, එහි නාගරික මන්ත්‍රී විහංග ජයමහ, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන කේ. සම්පත් බුද්ධික, දේවිකා ගල්හේන, චමිලා සංජීවනී, ඊවා ෂෙරීන්, දීපාල් වික්‍රමරත්න, හංසිකා පෙරේරා, උපුල් සේනක යන මහත්ම මහත්මීහු ඇතුළු මහජන නියෝජිතයෝ ද ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක, ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයෝමි ජයවර්ධන, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න, මගනැගුම උපදේශන සමාගමේ සභාපති පාලිත අබේවර්ධන, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දි තිලකරත්න, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු බී.එම්. පියතිලක, එහි මෙහෙයුම් කළමනාකාර චනුක ජයන්ත, තොරතුරු තාක්ෂණ කළමනාකරු අයේෂ්මන්ත මධුරංග යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම, මගනැගුම උපදේශන සමාගම, ජා-ඇල නගර සභාව, ජා-ඇල ප්‍රාදේශීය සභාව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ….!