Spread the love

නිමල් රාජපක්ෂ-

මව්වරුන් විදේශගතවීමෙන් අනාරක්ෂිත වන දරුවන්, ළමා ආරක්ෂණ මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය හා මානසික සෞඛ්‍යය ඇතුළු ළමා සංවර්ධන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසක් මහනුවර දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන අනුකමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් විය.

දරුවන් සම්බන්ධයෙන් පවතින නීතිරීතිවල අඩුපාඩු හඳුනාගෙන ඒවා සංශෝධනය කිරීමත්, තවදුරටත් අවශ්‍ය නොවන නීති ඉවත් කිරීමත් තුළින් ආයතනගතව සිටින දරුවන් ස්වභාවික පවුල් පරිසරයක් වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන ප්‍රකාශ කළේය.


මහනුවර දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන අනුකමිටු රැස්වීම මෙහෙයවමින් සහ ටිකිරි සෙවණ රජයේ භාරගැනීමේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.


දරුවෙකුට ආරක්ෂාව සැලසීම යනු ඔහු හෝ ඇය ආයතනයක රඳවා තැබීම පමණක් නොවන බවත්, හැකි සෑම අවස්ථාවකදීම ආදරය, රැකවරණය සහ සුරක්ෂිතභාවය සහිත ස්වභාවික පවුල් පරිසරයක හැදී වැඩීමට අවශ්‍ය අවස්ථා නිර්මාණය කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ සඳහා පවතින නීතිමය හා ආයතනික බාධා හඳුනාගෙන අවශ්‍ය සංශෝධන සිදු කිරීමත්, අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමත් වැදගත් බව ඔහු සඳහන් කළේය

.එමෙන්ම, දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වන ‘දිවියට සවියක්’ වැඩසටහනේදී අවශ්‍ය වන වාර්තා ලබාගැනීම සම්බන්ධයෙන් මුහුණදීමට සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එම වාර්තා ලබාගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමටත්, නිලධාරීන් අතර සේවා කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමටත් අමාත්‍යාංශය මැදිහත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.