නිමල් රාජපක්ෂ
දිට්ඨා ආපදාවෙන් දැඩි ලෙස පීඩාවට පත් මලයගම් වතු ප්‍රජාවට නිවාස සහන සැලසීම සඳහා රජය විසින් නව කැබිනට් තීරණ කිහිපයක් ගෙන ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි.
ඒ අනුව , දැනට සේවයේ නියුතු වතු කම්කරුවන්ට, වතු සේවයෙන් විශ්‍රාම ලබා තවමත් ලයින් කාමරවල පදිංචිව සිටින අයට, සහ වතු සේවයේ නියුතු නොවූවත් පරම්පරාවෙන් උරුම වූ ලයින් කාමරවල අවම වශයෙන් වසර පහක් පදිංචිව සිටින පාර්ශවයන්ට මෙම සහනාධාරය හිමිවන බවද ඇමතිවරයා පැවසුවේය. ඇමතිවරයා එසේ පැවසුවේ ඊයේ (07) දින වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
තව දුරටත් අදහස් දැක්වු සමත්ත විද්‍යාරත්න ඇමතිවරයා,පූර්ණ ලෙස විනාශ වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක දක්වා සහන මුදලක් ලබා දෙන අතර, එය නව නිවසක් මිලදී ගැනීමට හෝ වෙනත් ඉඩමක නිවසක් ඉදිකිරීමට භාවිතා කළ හැකිය. විකල්පයක් ලෙස, රජය විසින් ඉඩම් ලබා දී වර්ග අඩි 650ක නිවසක් ඉදිකර දීම සඳහාද මැදිහත් වීමට කටයුතු කර ඇත.
අර්ධ ලෙස හානි වූ නිවාස සඳහා උපරිම වශයෙන් රුපියල් ලක්ෂ 25ක දක්වා වන්දි ලබා දෙන අතර, තක්සේරු කිරීමකින් තොරව වන්දි ලබා ගැනීමට කැමති පාර්ශවයන් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමටද පියවර ගෙන ඇත.
මෙතෙක් ලයින් කාමර පෞද්ගලික දේපලක් ලෙස නොසලකා හැරීම හේතුවෙන් වතු ජනතාවට අහිමි වූ මෙම සහනය, රජයේ සෘජු මැදිහත්වීම මත ලබා දීමට නව කැබිනට් තීරණය මඟින් අවසර ලැබී තිබීම විශේෂත්වයකි.
එමෙන්ම, කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂ පොහොර සහනාධාරයක් ලබා දීමටද රජය තීරණය කර ඇත. පවතින සහනාධාරයට අමතරව, මේ වසර තුළ එක් වතාවක් පමණක් ලබා දීම සඳහා පොහොර මිටියකට රුපියල් 5,000ක අමතර සහනාධාරයක් භාණ්ඩාගාරය මඟින් වෙන් කර ඇත.
දැනට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් QR කේත ක්‍රමවේදයක් යටතේ පොහොර මිටියකට රුපියල් 4,000ක සහනාධාරයක් ලබා දෙන අතර, නව රුපියල් 5,000 සහනාධාරයද එම ක්‍රමවේදය යටතේම වසර අවසානයට පෙර කුඩා තේ වතු හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.
